මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම.



වැලන්ටයින් දිනයේදි (14) ආදරවන්තිය පෙම්වතාගේ නිවස කරා පැමිණීමේදි සිය පෙම්වතා අපවාදවලින් මිදෙන්නට වියපත් රෝගි මව  නිවසින් බැහැර කළ පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි.
පිය සෙනෙහස අහිමි වු මෙම තරුණයා මව් උණුසුම මැද සැප පහසුවට හැදුණු වැඩුණු අයෙකි. පවුලේ එකම දරුවාද ඔහුය. ඔහු ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබු අයෙකි. රැකියාවක් අපේක්ෂාවෙන් නිවසේ පසුවෙයි. ඒ අතරේ මව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියාය. ටික කලක් ගත වෙන්නට මත්තෙන් මව දැඩි ලෙස රෝගි වුවාය.
 වැඩකාර කාන්තාවක ඇය රැකබලා ගැනීමට ගෙදරට ගෙන ආවේය. එහෙත් ඇය එක තැනක නැත. එහේ මෙහෙ සැරිසරයි. මේ අතරේ තරුණයාගේ ආදරවන්තිය ප්‍රමුඛ හිතවත්තු හා හිතවතියෝ රැසක් ආදරවන්තයින්ගේ දිනයේ දී විනෝදවීමට හා පෙම්සුව විඳින්නට නිවෙස්වලින් පිටවුහ. එහෙත් මෙදිනට නිවසේ තනිවු මෙම තරුණයාට ඊට සහභාගිවන්නට බැරි විය. ඒ ඔහුද ඒ වනවිට රිය අනතුරකට ලක්ව නොසිතූ අයුරින් තුවාල ලබා සිටින බැවිනි.
වැලන්ටයින් දිනයේදි ඇතුගල හා වැව රවුමේ සුව පහසුව වින්ද සැවොම පෙම්වතා නොමැතිව තනිවී සිටින පෙම්වතිය කැටුව තුවාලවී සිටින ‍හිතවතා බලන්නට යාමට තීරණය කළහ. ඊට ඔවුහු කැමැති වූහ. ඒ එම නිවසේද කිසිවකු නොමැති නිසා ඔවුනට නිදහසේ ඒ තුළද වෙසෙන්නට හැකි නිසාය.
ඔවුහු එම නිවසට සිය පෙම්වතියත් කැටුව එන බව දහවල් කාලයේ එකී හිතවතාට පැවසූහ. වහ වහා ඊට සුදානම් වු ඔහු රෝගි මව නිවසින් පිටමං කළේය. ඒ ඇය ගේ ඇතුළෙන් සාලය දෙසට ආවොත් ඔහුට අත්විය හැකි අපවාදවලින් මිදෙන්නටය.
අසල්වැසි ඥාතියෙක් අම්මා රැගෙන ගියේය. හිතවත්තු දහවල් කාලයේදි නිවසට ළඟා වුහ. ඔවුන් සැවොම මෙම නිවසට ආගන්තුකයින්ය. එහි වගතුග කිසිවකුත් දන්නේ නැත. පෙම්වතා පෙම්වතිය සමගින් ආදරයෙන් සතුටු සාමීචියේ යෙදෙන අතරේ හිතවත්තු පාර දෙසට ගියහ.
එහිදී දැන ගන්නට ලැබුණේ එම නිවසේ සිටි වියපත් මව පුතු මොවුන් එන නිසා පිටමං කර ඇති බවයි. ඇය සිටින්නේ නුදුරින් පිහිටි නිවසක බවද ඔවුහු දැන ගත්හ.


ඔවුහු සියලු‍ දෙනා එම නිවස සොයා පිටත් වුහ. ඇයගේ සුවදුක් විමසුහ. එවිට ඇය රාජ්‍ය සේවයේ සිට ලද වැටුපෙන් එකම පුතුගේ ඇස් පාදන්නට කර ඇති ඇප කැපවීම එම ඥාතින්ගෙන් ඔවුනට දැන ගන්නට වැඩි වේලාවක් ගතවූවේ නැත. ඔවුහු රෝගි අම්මා කැඳවාගෙන යළි හිටපු නිවසට ගෙන ගියහ.
සිහි විකල් වු ඇය කවුදැයි නිවසේ තනි වී සිටි පෙම්වතිය ඇසුවාය. ඒ කවුදැයි කියන්නට ඔහු කට අරින්නට මත්තෙන් වෙලා ති‍බෙන දේ හිතවතුන් දිග හැරියහ. වෙච්ච අලකලංචිය හමුවේ ඔහුගේ දත කට පූට්ටු වී ඇත. තමා හදා වඩන්නට අම්මා විඳපු දුක් කන්දරාව ඔවුහු ආවර්ජනය කළහ.
කමක් නෑ. අපි යන්නම්. උඹ හොඳින් අම්මා බලා ගනින්. වෙච්ච අපවාදයට ඥාතින් එක්ක දබර වෙන්න එපා යනුවෙන් පවසා ඔවුහු පිටව ගියහ.