නිතරම බිරිඳට දොස් නගමින් ඇයට නැති  වැරැදි මවා දෝෂාරෝපණය කරමින්  තමන්ගේ වැරදි වසා ගන්නට උත්සාහ කළ සැමියකුට ඥාතීන් ඉදිරියේ සිය වැරදි සියල්ල හෙළි වී රෙදි ගැලවී යාමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් ලංකාදීපයට වාර්තා වෙයි.
කන්ද උඩරට ප්‍රදේශයේ පිහිටි තරමක් දුෂ්කර ගම්මානයකි. සැමියා සහ බිරිඳ යන  දෙදෙනාම පෞද්ගලික ආයතන දෙකක සේවය කළහ. බිරිඳ ඇඟලුම් ආයතනයක සේවය කළ අතර සැමියා ආහාර නිෂ්පාදන ආයතනයක විධායක මට්ටමේ තනතුරක් දැරුවාය. 
මේ අතර සැමියාට සිය සේවා ස්ථානයේ සේවය කරන රූමත් කාන්තාවකගේ පහස ලැබුණේ ඔහුගේ දීර්ඝ කාලීන බලාපොරොත්තුවක් ඉටු කරමිනි. මෙම සැමියා ද කඩවසම් තරුණ පෙනුමකින් යුක්ත නිසා මෙම කාන්තාව ද සිතා ඇත්තේ ඔහු අවිවාහක පුද්ගලයකු බවයි. කෙසේ වුවත් කාලය ඉක්ම යද්දී සැමියා සිය බිරිඳට වඩා මෙම කාන්තාවට ඇලුම් කරන්නට විය.
ඒ නිසාම ඔහුට බිරිඳ නිරන්තරයෙන් නොරුස්නා ගතියක් ගෙන දුන්නේය. බිරිඳ කරන කියන සියලු‍ දේවල වැරැද්දක්ම ඔහු දැක්කේය. නිතරම බිරිඳට දොස් කීම මගින් ඔහු ඔහුගේ වැරැද්ද  වසා ගන්නටත් නිවසට ප්‍රමාද වී පැමිණෙන්නටත් ඒ ගැන බිරිඳ ප්‍රශ්න නොකරන්නටත් මාර්ගයක් බවට පත්කර ගත්තේය.


කාලය මෙලෙස ගත විය. සැමියා සහ බිරිඳ අතර නෝක්කඩුව ඔඩු දුවන්නට විය. ඉවසන්න බැරිම තැන බිරිඳ සැමියා සමඟ එකට  එක කියන්නට පටත් ගත්තාය. තමන් කිසිදු වැරැද්දක් නොකරන බව ඇය සැමියාට තදින්ම කියා සිටියාය. 
සැමියාගේ මෙම තුරුම්පුවේ කාලය අවසන් වී ඇති බව වටහා ගත් ඔහු අලු‍ත් තුරුම්පුවක් සොයා ගත්තේය. තමුසේ මට ඔහොම කතා කරන්නේ ෆැක්ටරියේ අරූ නිසා නේදැ‘ යි බිරියට මහ මෙරක් පමණ ගලක් අත හැරියේය. බිරිය වැරදි බව නිරන්තරයෙන් කීම මගින් ඔහු සිය වැරදි වසා ගන්නට සෑම විටම උත්සාහ කළේය. 
මෙම අඹු සැමි ගැටුම සීමාව ඉක්මවා ගොස් තිබුණ අතරම සැමියාගේ අනියම් ඇසුර ද සීමාව ඉක්මවා ගොස් තිබිණ. ඇත්තම කියනවා නම් මේ වන විට අනියම් ඇසුර සම්මත ඇසුර බවටත් සම්මත ඇසුර අනියම් ඇසුරක් ගානටත් පත්ව තිබිණ. මෙම අඹු සැමි ආරාවුල පවුලේ ඥාතින්ගේ කනට ද වැටී තිබිණ. සැමියාට කෙසේ හෝ වුවමනා වූයේ තම බිරිඳට හොරා අනියම් ඇසුර පවත්වාගෙන යාමටයි. බිරිඳ දෙපැත්තේ ඥාතින්ට සැමියාගේ හැසිරිම ගැන  පවසා මේ සම්බන්ධයෙන් ඔහුට අවවාද කරන ලෙස ඥාතින්ගෙන් ඉල්ලා සිටියාය. කෙසේ නමුත් මේ වන තුරුම සැමියාට අනියම් ඇසුරක් ඇති බව බිරිඳ දැන සිටියේ නැත.
පවුලේ දෙපැත්තේ ළඟම ඥාතිහු කිහිප දෙනෙක් එක් වී දෙදෙනා සාමාදාන කිරීමට උත්සාහ කළහ. එම අවස්ථාවේ දී සැමියා නිතරම බිරිඳට දෝෂාරෝපණය කරමින් කියා සිටියේ වෙනත් කාන්තාවන් මෙන් බිරිඳ ප්‍රියජනකව තමන් ඉදිරියේ හැසිරෙන්නේ නැති බවයි. දෙදෙනාම එදින වැඩට ගොස් නොතිබු නිසා මෙම කතා බහ අතර තුර සැමියාගේ දුරකථනය නිරන්තරයෙන් නාද වන්නට විය. කිහිප වරක් දුරකථනය නාද වනු දුටු ඥාතිහූ පුතා කෝල් එක ගන්න වැදගත් කෝල් එකක්ද දන්නේ නෑ නේ‘  යැයි කිහිප වරක්ම කීහ. ඒත් අංකය බලා ඔහු එය විසන්ධි කළේය. නැවතත් දුරකථනය නාද විය බිරිය එක වරම දුරකථනය උදුරාගෙන ඇමතුම ගත්තාය. 
එක්වරම ‘හායි ඩාලිං ඇයි ඔයා අද වැඩට ආවේ නැත්තේ මං මේ බලාගෙන ඉන්නවානේ ආදි වශයෙන් ආදර වදන් එක දිගටම ගලා යන්නට විය. බිරිඳට ඉවසුම් නැති වූ අතර ඇය දුරකථනයේ ශබ්දය වැඩි කර ඥාතින්ට ද ඇසෙන්නට සැලැස් වූවාය.  
බිරිඳට  දොස් නඟමින් සැමියා නැටූ අනියම් නාඩගම ඥාතින් සියලු‍ දෙනා  ඉදිරියේ දී මෙලෙස  හෙළි විය. මින්  ඉදිරියට සැමියාට එම සේවා ස්ථානය තහනම් කළ ඥාතිහු වෙනත්  තැනක රැකියාවක් සොයා ගෙන බිරිඳ එක්ක හොඳින් ඉන්නැයි අවවාද කර යන්නට  ගියහ.

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්