හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්



තම බිරිය ඉදිරියේ වෙනත් කාන්තාවක වර්ණනා කරන්න ගිහින් දින තුනක් කඩෙන් බත් කන්නට සිදු වූ සැමියකු පිළිබඳ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි. 
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කන්ද උඩරට එක්තරා කුඩා ගම්මානයක පදිංචි මෙම යුවළ දරුවන් දෙදෙනකුගේ මව්පියන් වන අතර තවමත් තරුණ විය ඉක්මවා නොගිය මැදිවියට ළංවෙමින් සිටින යුවළකි. 
සැමියා නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කළ අතර බිරිය රැකියාවක් නොකළාය. සැමියා සේවය කරන ආයතනයේ තරුණියන් මෙන්ම මැදි වියේ කාන්තාවන්ද වැඩි වශයෙන් සේවය කරන නිසා බිරිය නිරන්තරයෙන් සැමියා ගැන අවධානයෙන් සිටියාය. බිරිය නිවසේ තනි වන සෑම දිනකම ඇය සිතුවේ තම සැමියා ගැනය. ඒ ඔහුට ඇති ආදරයට වඩා ඔහු වෙනත් කාන්තාවක සමඟ පැටලෙනු ඇතැයි වු බිය නිසාය.


මෙලෙස කාලය ගත කරමින් සිටියදී ටික දිනක සිට සැමියා නිවසට පැමිණෙන වේලාව වෙනස් වන්නට විය. ඔහු වෙනදා එන වේලාවට වඩා පැයක් දෙකක් ප්‍රමාද වී නිවසට පැමිණෙන්නට විය. මුල සිටම තම සැමියා ගැන බියෙන් සිටි ඇයට සැමියාගේ ප්‍රමාදය සැකයක් ඉපදවීය. ඒත් කිසිවක් නොකිවු ඇය සැමියාගේ හැසිරීම ගැන බලා සිටියාය. මෙසේ  සිටියදී දිනක් රාත්‍රියේ සැමියා ආහාර ගනිමින් සිටියදී සිය සේවා ස්ථානයේ සේවය කරන කාන්තාවක ගැන වර්ණනා මුඛයෙන් කතා කළේය. එයා හරි හොඳ කාන්තාවක් කතා කරන්නේ පොඩි ළමයෙක් වගේ‘ ආදි වශයෙන් ඇය ගැන වර්ණනා කරන්නට පටන් ගත්තේය. 
විනාඩි කිහිපයක් මේ වර්ණනාව අසා සිටි බිරියට යකා නැංගේය. ඇය මෙතෙක් සැක සිතූ ආකාරයටම සැමියා කාන්තාවක හා පැටලී ඇති  බවට ඇය සිතුවාය. එක් වරම සැමියාගේ ඇඟට කඩා පැන්න ඇය මං හිතුවා තමුසේ ගෙදර එන්න පරක්කු වෙන කොට සක්කරවට්ටමක් එක්ක පැටලිලා ඇති කියලා ඔය එළි වෙන්නේ ආය මං ගෙදර කන්න දෙන්නේ නෑ ඒ ගෑනිගෙන්ම ගිහින් කා ගන්නවා‘ යැයි එක දිගටම කෑ ගැසුවාය. 
ඇයට කරුණු පැහැදිලි කර දෙන්නට සැමියා කොතෙක් උත්සාහ කළද ඒ කිසිවකට සවන් දෙන්නට ඇය සූදානම් වුයේ නැත. ඇය කී ආකාරයටම පසු දින සැමියාට කෑම තිබුණේ නැත. දින තුනක්ම ඔහුට කඩෙන් ආහාර ගන්නට සිදු වු අතර ඇයගේ කෝපය ටිකක් සමනය වූ පසු ඇයට පැහැදිලි කර දීමෙන් පසුව කොන්දේසි ගොන්නකට එකඟ වීමෙන් යළි නිවසේ සුළි කුණාටුව යථා තත්වයට පත් විය.