(කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය)
ගම්වල අරුම පුදුම මිනිස්සු සිටිති. එයිනුත් සෙස්සන්ගෙන් වෙනස්ව කැපී පෙනීමට උත්සාහ දරන අය විශේෂිතය. සිරිමාන්න එවැන්නෙකි. තරුණ වියේ පසු වූ සිරිමාන්න නිතරම කැපී පෙනීමට උත්සාහ දැරුවේය. මේ එසේ කැපී පෙනීමට ගොස් හොඳටම ‘නා’ගත් අවස්ථාවකි.
සිරිමාන්න ජීවත් වූයේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කැලෑබද ගමකය. යුද සමයේ මෙගම ද මායිම් ගම්මානයකි. කොයි මොහොතේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවේදෝයි බියෙන් ජනයා කල් ගෙවූහ.
ගමේ පන්සලේ වැඩ සිටියේ වියපත් නායක හාමුදුරුවන් පමණි. ගම්මු උන්වහන්සේට අපමණ ආදරයෙන් ඇප උපස්ථාන කරමින් රැකබලා ගත්හ. සිරිමාන්න ද නිතර නිතර පන්සලට ගියේය. අන්‍යයන්ට වඩා තමන් පන්සලට අවශ්‍යම අයකු බව පෙන්වීමට ඔහු උත්සාහ කළේය.
පන්සලේ උපකාරක පන්තියක් ද තිබිණි. පාසල් ගුරුවරු කිහිප දෙනෙක් මෙම උපකාරක පන්තිය මෙහෙයවූහ. සිරිමාන්න පන්සලට ගිය එදින පැවැත්වීමට නියමිතව තිබුණේ විද්‍යා පන්තියයි. සිසුන් කිහිප දෙනෙක් ඒ වන විටත් පැමිණ සිටියහ. විද්‍යා ගුරුතුමා බණ මඩුවේ කොනක වාඩි වී පොතක් බලමින් සිටියේය.
නායක හාමුදුරුවෝ පෙනෙන්නට නොසිටියහ.
“කෝ ළමයිනේ හාමුදුරුවෝ” සිරිමාන්න විමසීය.
“හාමුදුරුවෝ පිටතට වැඩියා” ළමයෙක් කීවේය.
නායක හාමුදුරුවොත් නැති නිසා පන්සල ගැන ෙහාඳට සොයා බැලිය යුතු යැයි සිතූ සිරිමාන්න ආවාස ගෙය පැත්තට ගියේය. එහි දොරවල් විවෘතව තිබිණි. සිරිමාන්න ආවාස ගෙය ඇතුළට ගියේය.
“ටික්... ටික්... ටික්.... ටික්...” යනුවෙන් ශබ්දය සිරිමාන්නට ඇසුණේය. ශබ්දය ආ දෙස සිරිමාන්න විමසිල්ලෙන් බැලුවේය.
“බෝම්බයක්” ඔහුට එකවරම කියැවිණි. එයට හේතුව ශබ්දය ආවේ කළු පැහැති පෙට්ටියකින් වීමය.
“හාමුදුරුවන්ව මරන්න කොටි තියපු කාල බෝම්බයක්.” එසේ සිතූ සිරිමාන්න කළු පැහැති පෙට්ටිය දෑතට ගෙන හැකි වෙර යොදා පන්සලේ ළිඳ දෙසට දිව්වේය. ළිඳ අඩි 49ක් පමණ ගැඹුරුය. සිරිමාන්න කළු පැහැති පෙට්ටිය ළිඳට දැම්මේය.
“ඔන්න අද මම නිසා නායක හාමුදුරුවන්ගෙත් ඔයගොල්ලන්ගෙත් ජීවිත බේරුණා” සිරිමාන්න බණ මඩුවට පැමිණ එසේ කීවේ සියල්ල විස්තර කරමිනි.
විද්‍යා ගුරතුමා ඔළුවට අත ගසා ගත්තේය. සිරිමාන්න ළිඳට දමා තිබුණේ දරුවන්ට ඉගැන්වීමට නියමිත විද්‍යා පාඩමට අදාළ ‘විරාම ඝටිකාව’ හෙවත් කාලය මනින උපකරණය තිබූ පෙට්ටියය.
සිරිමාන්න හීන් සීරුවේ එතැනින් මාරු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ කතාවක් වෙන්න ඇති. මොකද මේ කාලයේ විද්‍යාව විෂය නිර්දේශයේ විරාම ඝටිකාව සම්බන්ධ කිසිම පරීක්ෂණයක් නැහැ. අනෙක විරාම ඝටිකාව භාවිත නොකරණ විට අක්‍රිය කරලා තියෙන්නේ. ටික් ටික් හඩක් එන්න විදිහක් නැහැ.