(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
තම නිවෙසේ වහලය සෙවිලි කරගැනීම සඳහා අසල්වැසියකුගේ පොල් වත්තකින් වියළි පොල්අතු ගලවා ගැනීමට ගිය පුද්ගලයකු පොල් අතු ද සමග පොල් වල්ලක් ද කපා බිම හෙළීම නිසා වතු හිමිකාරියගේ උදහසට ලක්වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබේ.
ඔහු එදිනෙදා කුලී වැඩක් කරගෙන ජීවත් වන පුද්ගලයෙකි. තම නිවෙසෙහි මුළුතැන්ගෙයි වහලය සෙවිලි කර තිබූ පොල් අතු දිරාපත්ව ඇති බැවින්, ලබන වර්ෂා කාලයට පෙර වහලට අලුතෙන් පොල් අතු බැඳිය යුතුව ඇතැයි බිරිය නිරන්තරව ඔහුට ඇවිටිලි කළාය.
ඊට අවශ්‍ය පොල් අතු මිලදී ගැනීමට ලොකු මුදලක් වියදම් කිරීම මේ දිනවල පවතින ආර්ථික තත්ත්වය අනුව කෙසේවත් කළ නොහැකිය. එහෙත් බිරියගේ කන්දොස්කිරියාවේ ද අඩුවක් නැත.
මේ ගැන කල්පනා කරමින් සිටින අතර බිරිය අදහසක් ඉදිරිපත් කළාය.
“මේ, අන්න අර නෝනලයි ගෙදරට ගිහින් අවසර අරගෙන එයාලගේ පොල් වත්තෙන් අතු ටිකක් කපලා ගෙනත් දෙනවා, මට ඔය ඉන්න ගමන් වියලා දාන්න බැරියෑ.”
එම අදහස හිස් මුදුනෙන් පිළිගත් ඔහු, ඒ කියූ ආකාරයට ගොස් අවසර ගෙන නෝනලාගේ පොල් ගස්වලින් වියළි පොල් අතු කැපුවේය.
ටික වේලාවකින් ‘දඩාස්‘ කියා පොල් වත්ත දෙසින් හඬක් ඇසීම නිසා නෝනා ඒ දෙසට තකහනියේ දිව ගියාය.
ඈ සිතුවා නිවැරැදිය. පොල් අතුවලට අමතරව පොල් වල්ලක් ද බිම තිබේ. ඈට යකා නැග්ගේය.
“ඈ මනුස්සයෝ, මම පොල් අතු කපා ගන්න කිව්වට, පොල් ගෙඩි කඩන්න කිව්වෙ නෑ නොවැ” නෝනා ගෝරනාඩු කළාය.
“අනේ බුදු නෝනා, හිතා මතා කළා නෙවෙයි, පොල් අත්තට ගැහුව පිහි පාර වැරැදිලා පොල් වල්ලටයි වැදුණේ.”
ඔහු ඒ මේ අත ඇඹරුණේය.
“හ්ම්, කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුණලුනේ... යනවා යන්න මෙතනින් මගෙ දෑහැට නොපෙනී.”
කපාපු පොල් අතු ටිකත් එසේම තිබියදී ආපසු නොබලාම හේ ගෙදරටම දිව ගියාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහලයට සෙවිලි කරන්න පොල් අතු ගස්වලින් කපලා ගන්නවා කියලා අදයි ඇහුවේ... මමත් කාලයක් හිටියේ පොල් අතු සෙවිලි කළ නිවසක. අපේ ප්‍රදේශයේ නම් ගස් වලින් වැටෙන පොල් අතු තමයි වතුරේ දාලා පොඟවලා වියන්න ගන්නේ...!