කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
අඟල් එකහමාරේ පයිප්ප බටයක් නිසා කිලෝමීටර් එකහමාරක් දුර ගිනි අව්වේ මෝටර් සයිකලයක් පසුපස හාඩ්වෙයාර් මුදලාලි කෙනකුට එළවන්නට සිදුවූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ වෙළෙඳසලකින් අසන්නට ලැබුණි.
කතාව මෙසේය.
මෙම මුදලාලි වනාහි පාරිභෝගිකයන් විසින් “මිල කීයදැයි” විමසන ලද භාණ්ඩ පවා ඔවුන් මිලදී ගන්නා භාණ්ඩවලට ඔවුන්ගේ අවසරයකින් තොරව එකතු කිරීමට පුරුදු වී සිටි අයෙකි.
අප මේ කියන දවසේ මුදලාලිගේ ඥාති පුත්‍රයකු ඔහුගේ පුත්‍රයා සමග එම වෙළෙඳසලට පැමිණියේ ඔවුන්ගේ ගෙවත්තේ ජල නළ පද්ධතියක් සඳහා පයිප්ප බට මිලදීගෙන යෑමටය.
එම අවස්ථාවේ ඔවුන්ට අවශ්‍ය පයිප්ප බට ඇතුළු උපකරණ මුදලාලි විසින් සපයා දුන් අතර “වෙන මොනවද වෙන මොනවද?” යැයි මුදලාලි විමසන විට මුදලාලිගේ ඥාති පුත්‍රයා “මාමෙ අඟල් එකහමාර බටයක් කීයද?” යැයි විමසීය. එම බටයේ මුදල මුදලාලි පැවසීමෙන් පසු ඥාති පුත්‍රයා අඟල් එකහමාරේ පයිප්ප බටය මිලදී ගැනීමේ අදහස අතහැරියේය.
මුදලාලි මාමා බඩු තොගයේ මිල සඳහන් බිල්පත ඥාති පුත්‍රයාට ලබා දී අවශ්‍ය මුදල අරගත්තේය.
ඥාති පුත්‍රයා සිය පුතා සමග පයිප්ප මිටිය රැගෙන මෝටර් සයිකලයට නැගී පිටවී ගියේය.
මුදලාලි විසින් ඔවුන් ගිය පසු බිල්පත පරීක්ෂා කළේය. “හත් දෙයියනේ” යැයි මුදලාලිට ඉබේම කියැවුණේ එම බිල්පතට අඟල් එකහමාරේ පයිප්ප බටය ඇතුළත් කර නොතිබූ නිසාය. එහෙත් මුදලාලිගේ වැඩි තණ්හාව නිසා අඟල් එකහමාරේ පයිප්ප බටය ඥාති පුත්‍රයාගේ ඉල්ලීමකින් තොරවම එම පයිප්ප මිටියට ඇතුළත් කර තිබිණි.
මුදලාලි වහාම කැසියර් මේසයේ ලාච්චුවට යතුර දමා කඩෙන් එළියට පැන්නේය. ඔහු පාර දිගේ පිස්සකු මෙන් ඥාති පුත්‍රයාගේ යතුරුපැදිය පසුපස එළවන්නට විය. යතුරුපැදිය ඉතා සෙමෙන් ධාවනය වෙමින් තිබුණේ එහි පිටුපස සිටි පුතාගේ කර මත පයිප්ප මිටියක් තිබූ නිසාය. කෙසේ හෝ මුදලාලිට කිලෝමීටර් එකහමාරක් පමණ ඔවුන් පසුපස හති දමමින් එළවන්නට සිදුවිය.
ඥාති පුත්‍රයා තම යතුරුපැදිය පසුපස මුදලාලි මාමා දිව එන අයුරු දැක යතුරුපැදිය නතර කළේය.
“පුතේ හරි වැඩේනේ වුණේ බං මට අර එකහමාරයේ බටයට උඹලගෙන් සල්ලි ගන්න බැරි වුණානේ, ඒකයි මේ දුවගෙන ආවේ”
ඥාති පුත්‍රයා තමන් එකහමාරේ බටයක් නොඉල්ලූ බව මුදලාලිට පවසා ආපසු යතුරුපදිය හරවාගෙන පැමිණ මුදලාලිගේ කඩය ඉදිරිපස බටය දමා ගියේය.
“මේවා මට හොඳ පාඩම්” යැයි තමාටම බැන ගනිමින් ආපසු කිලෝමීටර් එකහමාරක් ගිනි අව්වේ හතිලමින් මුදලාලිට වෙළෙඳසලට ඒමට සිදු වුණාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd