කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න



ලේලිය අසල නිදාගෙන උකුණන් බෝ කරගෙන ආවා යැයි මව ඇඳ පල්ලට තල්ලු‍ කර දමා ඇතැයි කියන අපූරු දියණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
ඇද පල්ලට වැටී ඇතැයි කියන කාන්තාවගේ වයස අවුරුදු 50 කි. මෙම කාන්තාවගේ සැමියා කිරිබත්ගොඩ ප්‍රාදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරයි. මෙම යුවළට වයස අවුරුදු 24 ක පිරිමි දරුවෙක් හා වයස අවුරුදු 19 පාසල් යන වයසේ දියණියක් ද සිටිති. වයස අවුරුදු 24 ක් වූ පිරිමි දරුවා මාස කිහිපයකට ඉහතදී දකුණු කොරියාවේ රැකියාවකට පිටත්ව ගියේය. නිවසේ ඉතිරි වූයේ මවුපිය යුවළ හා 19 හැවිරිදි පාසල් ශිෂ්‍යයාව පමණි.
24 හැවිරිදි තරුණයා විදේශගත වීමට අවුරුද්දකට පමණ ඉහතදී පොළොන්නරුව වැලිකන්ද ලොකු අම්මාගේ නිවසට ගිය අවස්ථාවේ දී ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබුණි.


එම සම්බන්ධතාවට දෙපාර්ශ්වයේ කැමැත්ත දී තිබුණි. පොළොන්නරුවේ වැලිකන්දේ තරුණියගේ මවුපියන්ගේ ආරාධනාවකට අනුව ඉකුත් දිනක කොරියාවේ රැකියාවක් කරන තරුණයාගේ මවුපිය යුවළ පොළොන්නරුවේ වැලිකන්දේ ලේලියගේ නිවසට ගියහ. බොහොම ආදරයෙන් කරුණාවෙන් බෑනාගේ මවුපියන් පිළිගෙන තේ පැන් සංග්‍රහ කටයුතු සිදු කෙරිණ. රාත්‍රී කෑම ද පිළියෙළ කර දී විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ මවුපියන් තවදුරටත් සුහදව කතාබහ කර ගැනිණ.
පසුව රාත්‍රී 11 ට පමණ තරුණයාගේ මව ලේලිය සමග එකට ඇඳේ ද පියා වෙනත් කාමරයක ද නිදාගෙන තිබේ. පසු දා තරුණයාගේ මවුපියෝ ඉදිරියේදී විවාහ මංගල්‍ය ජයටම ගැනීමට තරුණියගේ මවුපියන් සමග කථිකා කරගෙන ආපසු කෑගල්ල නිවසට පැමිණියහ.
පැමිණ දින රාත්‍රී සුපුරුදු පරිදි දියණිය නිදාගන්නා ඇඳට පැමිණ දෙදරු මව නින්දට  වැටුණු අවස්ථාවේ දෑතින් හිස කසා තිබේ. “මට ඊයේ රෑ නිදාගන්න දුන්නේ පුතා යාළුවෙලා ඉන්න කෙල්ල නිදාගන්න ඇඳේ. අපි දෙන්නා එකට ඇඳේ නිදා ගත්තා. ඒ කෙල්ලගෙන් මට උකුණන් බෝවෙලා වෙන්න ඇති හොඳටම ඔළුව කහනවා”‍ යැයි දෙදරු මව පැවසුවාය. 
ලේලි ළඟ නිදාගෙන උකුණන් බෝ කරගෙන ඇවිල්ලා දැන් මගේ ඔළුවටත් උකුණන් බෝ කරනවා යැයි පවසා දියණිය සිය මව තල්ලු‍ කළාය. පසුව මව ඇළ පල්ලට වැටී තිබේ. බිමට වැටුණු මව නැගිට තරුණියට බැන බැන ගොස් පැදුරක් ගෙන බිම එළාගෙන එදා සිට ගෙමැද්දේ නින්දට වැටෙන බව වාර්තා වෙයි.