මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම.



එකකු ගෙනා නුවණක්කාර යෝජනාවට අත්වෙන වාසිය තකා කැමැත්ත පළ කළ මිතුරු කැලකට පාඩු පිට පාඩු විඳින්නට සිදු වු පුවතක් යාපහුව රාජධානි බල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
එක පාසලේ ඉගෙනුම ලැබු මිතුරු කැලකි. පාසල් ගමන නිමකර ඇති ඔවුහු විවිධ රැකියාවන්වල නියැළී ජීවන අරගලයට මුහුණ දීමට වෙර දරති. ඔවුන් අතරින් ඇතැමෙක් යුග දිවියට පත්ව සිටිති. තවත් අය අවිවාහකයෝය. 
ඔවුන් දුරස්ව සිටියත් පාසලේ ගජ මිතුරු සබඳතාවය දුරස්වන්නට කිසිදු අවස්ථාවක ඉඩ තබා නැත. දුකට මෙන්ම සැපට කොහේ සිටියත් එකට එක්වෙන ඔවුනට එක යාළුවකුගෙන් ඔවුනට ඇරයුමක් ලැබුණි.
“මචං සංගීතයක් තියෙනවා. කලකට පස්සේ අඩියක් ගහලා ආතල් එකක් ගන්න මේකටවත් අපි සෙට් වෙමු. නියමයි, නියමයි, මං එක පයින් කැමැතියි. කවුද එන්නේ. අරුත් එනවාද, එහෙනම් මරේ මරු.“
ඔහු එලෙස ආරාධනා කිරීමේදි එවැනි ප්‍රතිචාර මිතුරන්ගෙන් ලැබුණි.
ඒ අනුව ඔවුහු එදින සවස් යාමයේ ඇරැයුම් කළ මිතුරාගේ ගෙට ගොඩ වුහ.


සංගීතය බලන්නට යාමට මත්තෙන් මත් වතුර බීමේ පාටියකට සැරසුණි. එක එකාගේ පදම ඉක්මවා ඇත. “දැන් නම් මට හොඳටෝම වෙරි. ප්‍රධාන පාරෙන් නම් බයික් එක පැදගෙන යන්න බෑ. පොලීසියෙන්  ඇල්ලු‍වොත් සොරි තමයි.“
ඒ අනුව හොර පාරකින් සංගීතය තිබෙන ක්‍රීඩාංගණය අසලට ඔවුහු ළඟා වුහ. අති විශාල පිරිසක් ඒකරාශි වී සිටියහ. ගීත කීපයක් ඒ වනවිටත් ගයා අවසන්ය. පැමිණි යතුරු පැදි මහ මග නවතා තැබීම සපුරා තහනම්ය. ඒවා රථ ගාලට බාර දිය යුතුය. ඒ වෙනුවෙන් යතුරු පැදියකට රුපියල් 200 ක මුදලක් ගෙවිය යුතුය. ඊට අමතරව හෙල්මට් එහි එල්ලා යාමට ඉඩක් නැත. හෙල්මට් එකකට රුපියල් 50 ක්  අය කරනු ලැබේ. ඒවා වෙනුවෙන් වග කියනු ලැබේ.
පැමිණි මිතුරන් හය දෙනෙකි. යතුරු පැදි තුනකි.“ අපි බයික් තුන විතරක් පාර්ක් එකට දාමු. ඒකට රුපියල් 200 බැගින් හය සීයයක් ‍දෙමු. හෙල්මට් ටික අරගෙන යමු.
ඒවා ඒ අසල කැලෑ රොදක පොට් එකක් තියෙනවා. ඒ පැත්තට කවුරුත් යන්නේ නෑ. එතැන තියෙන ගහක හංගලා අපි ඇතුළට යමු. එතකොට හෙල්මට් හය වෙනුවෙන් රුපියල් තුන් සීයයක ලාභයකුත් වාසියකුත් අපිට තියෙනවා. ඒ මුදලට අපි බයිට් එකක් අර ගමු“ ගම, පෙදෙස මෙන්ම කැලෑ රොද පිළිබඳව ද මනා දැනුමක් ඇති ගමේ සගයා පැවසීය.
“අඩේ උඹේ මොළේ නම් මාරයි. අපි මොකටද වුන්ට හෙල්මට්වලට බොරුවට සල්ලි දෙන්නේ යමු යමු ඒවා එතැන හංගමු.“ සියල්ලෝ ඊට එක පයින් කැමැති වුහ. කැලෑ රොද දෙසට පිය නැගූ සියල්ලෝ කිසිවකුටත් නොපෙෙනන ලෙසට රථ ගාලේ ඇති ආරක්ෂාවට වඩා වාසිය  තකා ආරක්ෂාවට ඒවා ගසෙහි සැඟවුහ.
සංගීතයට අනුව ගීත ගයමින් නටමින් විනෝද වු ඔවුහු සංගීතය නිමා වෙන්නට මත්තෙන් එතැනින් නිවෙස් බලා යාමට පිට වුහ. තිදෙනකු බයික් ගැනීමට රථ ගාලටත්, අනෙක් තිදෙනා හෙල්මට් ගෙන ඒමට කැලෑ රොද දෙසටත් පා තැබූහ. කැලෑවට ගිය තිදෙනා එන්නට පමාය. බයික්වල සිටි තිදෙනා ඒ ගැන විපරම් කළහ.
“යකෝ හෙල්මට් හයම නෑනේ. මොකෙක් හරි ඒවා උස්සලා. දැන් ඉතිං කොහොමද බං ගෙවල්වලට යන්නේ.“වෙච්ච දේ හමුවේ හය දෙනා අන්ද මන්ද වුහ. 
කෙසේ වෙතත් පැමිණි හොර පාරෙන්ම ඇරයුම් කළ මිතුරාගේ ගෙට ගොස් එහි නවාතැන් ගත් ඔවුහු පසු දිනයේ නගරයට  ගොස් හෙල්මට්වල මිල ගණන් අසා පසුව හෙල්මට් හයක්ම මිලදි ගත්හ. එකක මිල තුන් දහසකි. හෙල්මට් හයට වැය කළ මුදල රුපියල් දහ අට දහසකි. හය දෙනාම එකතු කළ මුදලින් ඒවා අර ගත්තේය.
“රුපියල් තුන්සියක් දීලා හෙල්මට් ටික ආරක්ෂාවට දුන්නා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ. උඹේ ගොංකම් හින්දා බලාපන් වෙච්ච පාඩුව“ යෝජනාව ගෙනා සගයාට අන් අය බැන වැදුණහ.
“ඒකට උඹලත් කැමැති වෙලා දැන් මට විතරක් අවලාද කතා කියන්න එපා. වෙච්ච දේ වුණානේ “නමුත් මේක ගෙවල්වලට නම් දැන ගන්නට තියන්න එපා විලි ලැජ්ජාවේ බෑ“වෙච්ච අලකලංචිය හමුවේ ඒක රහසක් ලෙස තබා ගන්නට ඔහුගේ ඉල්ලීමට අවනතව සියල්ලෝ විසිර ගොස් ඇතත් ඒක දැන් ලැව් ගිනිවලටත් වඩා වේගයෙන් ඔවුනගේ ගම් දනව් අතරටත් දැන ගන්නට ලැබිලාලු‍.