ගාල්ල නගරාසන්නයේ ගමක විසු මිතුරන් දෙදෙනෙකු  සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්විය. වැනි වැනි පාරට පැමිණි දෙදෙනාට පරණ ආරවුලක් මතක් විය. දැන් දැන් මිතුරුකම ටිකෙන් ටික ඈත්වී සතුරුකමක් මතුවන්නට විය. අවසානයේ එකකු අසල තිබූ පොල්ලක් ගෙන මිතුරුගේ ඔළුවට වේගවත් පහරක් එල්ල කළේය. 
ටික වේලාවක දී අසල්වැසියන් රැස්වී ගිලන් රථයකින් තුවාලකරු කරාපිටිය රෝහලට  යැවීමට කටයුතු කළේය. තුවාලකරුගේ තත්වය බරපතළ වූ නිසා ඔහු වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. සිද්ධිය වාර්තාවීමත් සමග සැකකාර මිතුරා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රිමාන්ඩ් සිර ගෙදරට ගියේය.
මේ අතර එදිනට පසුදින රාත්‍රි පිරිසක් තුවාලකරුගේ නිවසට ආවේය. එසේ පැමිණියේ හිස් අතින් නොව බුරුව කුට්ටමක් ද රැගෙනය. තුවාලකරුගේ බිරිය සිතුවේ සැමියාගේ මිතුරන් පිරිසක් සැමියාගේ තත්වය විමසීමට ඇවිත් ඇති බවය. ඇය ඔවුනට තේ සැදීමට මුළුතැන් ගෙට ගියාය. එහෙත් නිවසේ කිසිදු කලබල ගතියක් නොවීය. ඒ බව පැමිණි පිරිසට නොදැනුනේ ඔවුන්ද බීමත්ව සිටි නිසාය. පැමිණි පිරිස  බිම පැදුරක් එළා වාඩිවී බූරුව කුට්ටම දිග හරින්නට විය.


තේ සාදාගෙන පැමිණි බිරිඳ මෙය දැක පුදුමයට පත්වූවාය. ‘‘ඇයි මේ මොකද’’ ඇය ඇසුවාය. ‘නැහැ  අපි මේ අයියගේ බොඩිය ගේනකම් නිදි මරන්න ඕන නිසා කාඩ් කුට්ටමක් අරගෙන ආවා.’’ එක් අයෙක් කීය.
ඒ සමගම ඇයගේ කෝපය ඉහ  වහා ගියේය. තේ  කෝප්ප ටික විසි කළ ඇය. ‘‘මගේ මහත්තය  මැරුණේ නැහැ යකෝ.’’ යනුවෙන් කෑ ගසමින් පැමිණි පිරිසට පහරදීමට සුදානම් වන විට ඔවුන් බූරුව කුට්ටමද දමා දුව යන්නට වූ අතර ඇයද වහාම රෝහල වෙත දුව ගියාය. ඒ  වනවිට සැමියාගේ තත්වය සුව අතට හැරෙමින් තිබෙනු දුටු ඇය රෝහලෙන් පිටව නැවතත් නිවසට දුව ගියේ බූරුව ගැසීමට පැමිණි පිරිස හමුවීමේ බලාපොරොත්තුවෙන් වුවද ඒ වනවිට පිරිස බොහෝ දුරට ගොස් තිබිණ. 

උණවටුන ඩී.ජී. සුගතපාල