IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රෑට රෑට හොර ගමන් යන බයිසිකලේ ගේට්ටුවේ බැඳදාලා

තම අනියම් සම්බන්ධය ගමේ තරුණයන්ට හසුවීම නිසා බිරිඳත් පාපැදියත් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් උතුරු මැද පළාතේ ගමකින් වාර්තාවේ. 


ඔහු ග්‍රාමීය සංවර්ධන කටයුතු කරන සංවිධානයක සේවය කරන විවාහක දෙදරු පියෙකි. වයසට වඩා තරුණකම පෙන්වමින් කාන්තාවන්ට මහත් ඇඟෑලුම්කමක් පාමින් තම රාජකාරිය සිදුකරයි. විටෙක ඔහු මහත් හිරිහැරයක් බව කාන්තාවෝ පවසති. ගමේ කොල්ලන් බලා සිටින්නේ මේ අනංගයාට පාඩමක් උගන්වන්ටය.


කාලයක් යනවිට ඔහු තම වැයික්කියේ කාන්තාවක සමග අනියම් සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණි. ඇයගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක යෙදෙන නිසා නිතරම නිවසට එන්නේ නැත. ඒ නිසා මොහු රාජකාරී කරන මුවාවෙන් එම නිවසට නිතරම යයි. මේ සම්බන්ධය ගැන බිරිඳටද ඉව වැටී තිබුණි. බිරිඳ මේ ගැන නිතරම සෙවිල්ලෙන් පසුවූවාය. 


දිනක් රාත්‍රි කාලයේදී ඔහු බිරිඳට පවසා ඇත්තේ “අද කුඹුරට වතුර හරවන්න යන්න ඕනෑ” යනුවෙනි. බිරිඳ පවසා ඇත්තේ මෝටර් බයිසිකලයෙන් යන ලෙසය. “නැහැ බයික් එකේ යන්න බැහැ. බයිසිකලේ දාන්න තැනක් නැහැ. අනෙක හොරුත් ඉන්නවනෙ” යනුවෙන් පැවසූ ඔහු තම පාපැදියෙන් ගියේය. 


කුඹුරට වතුර හැරවිල්ල පැත්තක දමා අනියම් ඇසුරක් පවත්වන කාන්තාවගේ නිවස දෙසට හිමින් හිමින් යන ඔහු ගැන සෙවිල්ලෙන් සිටි ගමේ කොල්ලෝ කීපදෙනෙක්ද ඔහු පසුපස ගියහ. ඔහු හොර පූසකු මෙන් වටපිට බලා තම පාපැදිය අසල අකුලක සඟවා කාන්තාවගේ නිවසට රිංගා ගත්තේය. 


පසුව තරුණයෝ පිරිස එකතු වී හිමින් සීරුවේ පාපැදිය රැගෙනවිත් අසල වගා ළිඳට දමා හිමිහිට මාරුවූහ. ටික වේලාවකින් පැමිණ බලනවිට තම පාපැදිය නොමැති බව දැනගත් ඔහුට හීන්දාඩිය දැම්මේය. අහන්න කෙනෙකුත් නැත. බයිසිකලය හොයන්න ගියොත් සියල්ල හෙළිවන නිසා එම අදහස අත්හැර දමා හිමින් හිමින් කැලෑ පාරකින් නිවස බලා එනවිට ගමේ තරුණයකු හමුවී ඇත. 
“මහත්මයා මොකද මේ රෑ පයින්ම යන්නෙ?” 


“බලන්න මල්ලි මම කුඹුරට ගියා වතුර හරවන්න එනකොට බයිසිකල් එක නැහැනේ” 


සිද්ධිය දන්නා තරුණයාගේ මුවඟට මද සිනහවක් නැගුණ අතර තරුණයා ඔහු නිවසටම ඇරලුවේය. 


පසුදින උදෑසන බයිසිකලය ගැන බිරිඳ අහන්න පෙර ඔහු පවසා ඇත්තේ “බලන්නකෝ ඊයේ රෑ ඇළ නියර උඩ නතර කරල තිබුණ බයිසිකලය කවුද කඩප්පුලියෙක් අරන් ගිහිල්ලනේ?” යනුවෙන් පවසා ඇත. ඔහුගේ තරම දන්නා බිරිඳ මුවින් නොබැන නිහඬවූවාය.


ටික දිනක් ගිය පසු උදෑසන බිරිඳ දැක ඇත්තේ සැමියාගේ බයිසිකලය ගේට්ටුවට හේත්තු කර ගොස් ඇති බවය. පසුව බලනවිට ඒ සමග ලිපියක්ද විය. එහි සඳහන්ව තිබුණේ “මහත්තයාගේ බයිසිකලේ රෑට ඇවිදින්න යනවා නෝනා. අනේ පුළුවන්නම් රෑට බැඳල තියාගන්න. මහත්තයාටත් ඒ දේම කරන්න පුළුවන්නම් ලොකු දෙයක්” යනුවෙන් සඳහන් කර ඇත. 


එදා බිරිඳට හොඳටම තරහ ගොස් තල් අත්තට බොරලු ගසන්නා සේ තම ස්වාමියාට හොඳටම බැන වැදී දරුවන් දෙදෙනාද රැගෙන තම මහ ගෙදර බලා ගියාය. ඒ මදිවාට ඔහු තම රාජකාරී ප්‍රදේශයට යා නොහැකිව දැන් නිවසට වී කල් මරනවාලු. 
(බන්දුල පී. පතිරණ)

 



අදහස් (0)

රෑට රෑට හොර ගමන් යන බයිසිකලේ ගේට්ටුවේ බැඳදාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site