IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රෝගියා මරන්න හදා බ්ල උස්සලා

උණ වැළදී ප්‍රතිකාර ගැනීමට ගියත් මුදල් කඩා ගැනීමේ එකම අරමුණ ඇතිව රෝගීන් බිය වද්දමින් තේරුමක් නැතිව විවිධ පරීක්ෂණ පවත්වමින් වැඩි කාලයක් ප්‍රතිකාර කරන මුවාවෙන් රෝගියකු දින කිහිපයක් නවතාගෙන සිටි පෞද්ගලික රෝහලක් පිළිබඳව පසුගිය දා  අසන්නට ලැබිණි. 


 කොළොම්පුරයේ කාර්යාලයක සේවයේ නියුතුවූවෙක් පසුගිය දා කොළඹින් දකුණේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් වූයේ ප්‍රතිකාර ගැනීම සඳහාය. ඔහුට රක්ෂණ වන්දියකින් මුදල් ලැබෙන බව දැනගත් රෝහල් බලධාරීන් විමසා සිටියේ රක්ෂණ මුදල පිළිබඳවය. 


ගත වූ පළමු පැය එකොළහ සඳහා රුපියල් විසිපන්දහසකට වැඩි මුදලක් අයවිය යුතු බවට මේ රෝගියාට බිල්පතක් ලැබිණි. මේ ආකාරයෙන් මුදල් ගෙවීමට තමන්ට නොහැකි බවත් තමන්ට නියමිත රක්ෂණ මුදලින් දින දෙකක්වත් රෝහල් බිල ආවරණය කර ගැනීම අපහසු බවත් තේරුම් ගත් මේ රෝගියා රෝහලෙන් පිටව යාමට සැරසුණේ එතරම් අපහසුවක් ද නැති බව හැඟි ගිය නිසාය.


එහෙත් ඔහුට රෝහලෙන් ඒ සඳහා අවසර ලැබුණේ නැත. ඒ වෙනුවට රෝහල් බලධාරීන් කීවේ රක්ෂණ වන්දියට සරිලන ලෙස අවසන් බිල්පත සකස් කර දිය හැකි බවය.  එමෙන්ම වරින් වර මේ රෝගියා විවිධ පරීක්ෂණවලට ලක් කරමින් ඔහුගේ තත්ත්වය බැරෑරුම් බව ඒත්තු ගැන්වීමට රෝහලේ පිරිස් කටයුතු කළහ. රෝහල් බලධාරීන් පැවසු අන්දමට ඔහුගේ ජීවිතය අවදානම් තතත්වයක පැවතිණි. එහෙත් ඔහුට අනුව එසේ නොවීය. වෛද්‍යවරුන් තමන් පරීක්ෂාවට ලක්කරන අවස්ථාවල දී ඔහු සිටියේ දැඩි මානසික පීඩනයකිනි. ඒ ඔවුන් තම ජීවිතය අවදානම් බව නොකියා කියමින් විවිධ පරීක්ෂණවලට ලක් කරන නිසාය. ඒ පරීක්ෂණවල දී කියැවුණේ ඔහුගේ තත්ත්වය එතරම් හොඳ නැති බවය. 


එක් පරීක්ෂණයකින් තත්ත්වය හොඳ බව කියවිණි. ඒ නිසාම තෙවැනි දිනයේ දී තමන්ට තවදුරටත් රෝහලේ සිටිය නොහැකි බව පැවසීමෙන් පසු වෛද්‍යවරයකු පැවසුවේ එසේ වුවත් තවදුරටත් ප්‍රතිකාර ලැබිය යුතු බවය. ඔහු ඒ සඳහා එකඟ නොවීම නිසා ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රජයේ රෝහලකට මාරු කර යැවීමට කටයුතු කරන බව රෝහල පැවසීය. එහෙත් තමන් මුදල් ප්‍රශ්නයක් මත කැමැත්තෙන් පිටව යන බව ටිකට් පතේ සඳහන් කරන ලෙස ද දැන්වීය. 
මේ රෝගියා තම බිරිය සමග රජයේ රෝහලට යාමට සැරසුණේ පෞද්ගලික රෝහලෙන් කෙරෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් ඇතිවූ දැඩි කුකුස නිසාය.  එසේ තනිවම යැවීමට නොහැකි බවත් තම රෝහලේ ගිලන් රියෙන් යැවීමට කටයුතු කරන බවත් රෝගියාට දැන්වීය. පයින් යා හැකි තමන්ට ගිලන් රියක් අනවශ්‍ය බව කීවත් එසේ කළ යුතුම බව පැවසිණි. කරකියාගත දෙයක් නැති වූ මේ රෝගියා වික්ෂිප්තව බලා සිටියේය.


දින තුනට බිල්පත ලැබිණි. පළමු බිල්පත අනුව දෙගුණයක් පමණ ගෙවිය යුතු බව කියවිණි. රක්ෂණයෙන් ආවරණය වන මුදලට අමතරව ගෙවිය යුතු මුදල් ගෙවුයේ බිරියගේ රන් බඩුවක් උකස් කිරීමෙනි.  රජයේ රෝහලට ගෙන යන ගිලන් රිය සඳහා ද රුපියල් 1500 ක් අයකරනු ලැබීය. පැය කිහිපයකට පසු ගිලන් රිය පැමිණියේය. රෝගියා එයට ගොඩවීමට සූදානම් විය.  එපා එපා කී රෝහලේ පිරිස ඔහු ගිලන් ඇඳේ තබා බඳ පටි දැමීය. සුදු රෙද්දක් පොරවා ගිලන් රියට ඇතුළු කෙරිණි. පණපිටින් සිටින තමන් මරන්නට හදනවාදැයි රෝගියාට සිතුණි. 


කෙසේ හෝ රෝගියා රජයේ රෝහලට ගෙන ගියේය. එහි වෛද්‍යවරු ඔහු පිරික්සූහ.  කැමැත්තෙන් යනවා කියන කෙනා ඒ අයගේ ඇම්බියුලන්ස් එකෙන් එව්වේ ඇයි? ටිකට් පත බැලූ වෛද්‍යවරයා කීය. ‘ඔයාට ගෙදර ගිහින් විවේක ගත්තාම ඇතිනේ... ඇයි මෙහාට ගෙනාවේ. නැති ලෙඩකුත් හදාගෙන ගෙදර යන්නදැ’යි රජයේ රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් ද රෝගියාගෙන් විමසුවේ සිනාසෙමිනි. 


ඔව්, මම කොච්චරවත් කිව්වා මට ඒතරම් අමාරුවක් නැහැ කියලා. මේ අය මාව බය කළානේ... රෝගියා පිළිතුරු දුන්නේ සිතට සහනයක් දැනුණු නිසාය. 


ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බව පෞද්ගලික රෝහලෙන් කියු රෝගියා රජයේ රෝහලේ උපදෙස් මත නිවස කරා ගියේ පාරේ බසයෙනි. කිසිදු වැඩිදුර ප්‍රතිකාරයක් නැතිව මේ වනවිට නිවසේ විවේක සුවයෙන් කල්ගත කරමින් සුවය ලබමින් සිටින්නේ මින් ඉදිරියට මොන රෝගයක් ඇතිවුණත් රජයේ රෝහලක පිහිට පමණක් පතන බවට ඇතිකරගත් දැඩි අධිෂ්ඨානය ඇතිවය. 
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 



අදහස් (0)

රෝගියා මරන්න හදා බ්ල උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 220 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site