මිතුරකුගේ නිවසකට ගොස් සාජ්ජයක් දැමු අයකුට බයිට් එකට ගත් ආහාරය ආසාදිත වී පැය ගණනාවක් එම නිවසේ ජල ටැංකියකට බැස සිටීමට සිදුවූ පුවතක් හසලක ප‍්‍රදේශයේ වන අලි ගැවසෙන දුෂ්කර ගම්මානයකින් වාර්තා වෙයි.
හතළිස් දෙහැවිරිදි ඔහු මහනුවර ප‍්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙකි. මොහු සමග එම ආයතනයේ සේවය කරන හසලක ප‍්‍රදේශයේ මිතුරකු එහි මිතුරන් කීප දෙනකුට ඇරයුම් කළේ දිනක් තමන්ගේ ගමට පැමිණ රා කට්ටක පහස ලබන්නට පැමිණෙන ලෙසයි.
එම ඉල්ලීමට මිතුරන් සිව් දෙනකු කැමැත්ත පළ කළ අතර යෝජනා කරගත් දින ඔවුන් තිදෙනා මිතුරාගේ ගම බලා පැමිණියේ ඔවුන්ගේ යතුරු පැදිවලිනි. මෙම ගම්මානය ප‍්‍රදේශයේ අතිදුෂ්කර වනගත ගම්මානයක් වන අතර කිතුල් රා වලට හා පැණි හකුරුවලට ද නම් දරාපු ගමකි.
මෙදින සවස තුනට පමණ ගමට පැමිණි ආගන්තුකයන් සිව් දෙනා ආදර ගෞරවයෙන් පිළිගත් ඔහු තේපැන් සංග‍්‍රහයක් කිරීමෙන් අනතුරුව නකලස් කඳුකරයේ ගම හරහා ගලා බසින ඔයේ සීතල දිය පොදක පහස ලබන්නට ද ගමේ සොබා සෞන්දර්ය නැරඹීමට ද රැගෙන ගියේ ගමේ තවත් මිතුරන් කීප දෙනෙකු සමගිනි.
එම සංචාරය නිමාකර නිවසට පැමිණි පිරිසට ගමේ තවත් තරුණයන් කීප දෙනකු එක්ව සුදානම් කර තිබුණේ කැලේ සතාගේ කට ගැස්මක් සමග රා කට්ටක පහස ලබන්නටය. සතුටු සාමිචියෙන් ගීතයෙන් හා විහිළු තහළුවෙන් පිරුණු මේ සාංජ්ජය අතරේ රාත‍්‍රි 10ට පමණ මහනුවර සිට පැමිණ සිටි එක් සාමාජිකයකු තමන්ගේ ශරීරයේ වෙනසක් පවතින බවත් ශරීරයේ කැසිල්ලක් හා දැවිල්ලක් පවතින බවක් බඩ රිදීමක් තිබෙන බවත් අනෙක් අයට පවසා තිබේ. ඔහු පැවසු වෙනස පරීක්ෂාකර බැලීමේදි මිතුරන්ට දැක ගත හැකිවූයේ ඔහුගේ මුළු ශරීරය පුරා පලු මතුවී ශරීරය රත් පැහැ ගැන්වී ඇති සැටියකි. වැසිකිළියට ද කීප වරක් යාමට සිදුවී තිබිණි.
මේ වෙනස නිවෙස් හිමි තරුණයාගේ පියාට පැවසු පසු ඔහු වහා ක්‍රියාත්මක වී ගසකින් අමු පොල් කොළ ගොන්නක් රැගෙනවිත් ගමේ ප‍්‍රතිකාරයක් වන දුම් ගැසීමක් සිදු කළ අතර තෙල් වර්ගයක් ගෙන ඇඟපුරා ගැල්වීමටත් පානයට යම් ඖෂධයක් පිළියෙළ කර දීමටත් කටයුතු කරන ලදි.
මේ වනවිට රෝගියා රැගෙන රෝහලක් කරා යෑමට තරම් සුදුසු පරිසරයක් එම ගමේ නොතිබුණේ මෙම ගම්මානය සවස පහේ සිට පසුදින පෙරවරු හය-හත පමණ වනතුරු වන අලියාගේ ග‍්‍රහණයට නතුවූ ගම්මානයක් වන හෙයිනි. ගමේ සිට රෝහල කරා ගමන් කිරීමට ද ඇත්තේ වනාන්තරයක් මැදින් ඉදිවී ඇති මාර්ගයකිනි. එම මාර්ගයේ ද වන අලි රංචු රැඳී සිටින බව ද කියයි. එම නිසා රෝගියා රෝහලක් කරා රැගෙන යාමට ද නොහැකි තත්වයක් පැවතුනි.
නිවැසියා ලබා දුන් දේශීය ප‍්‍රතිකාරවලට කිසිදු අයුරකින් සහනයක් නොවු නිසාත් දැවිල්ල හා කැසිල්ල ඉවසා ගෙන සිටීමට රෝගියාට නොහැකි වූ නිසාත් ඔහු එම දැවිල්ල හා කැසිල්ලට යම් හෝ සහනයක් ලබා ගැනීම සඳහා නිවස පිටුපස තිබුණ වතුර ටැංකියට බැස ගත්තේ වෙනත් යමක් කිරීමට කිසිවකුට නොහැකි වූ හෙයිනි. මෙලෙස වතුර ටැංකියේ පැය දෙකක පමණ කාලයක් බැස සිටීමෙන් පසු යම් සුවයක් ලබා ඇත.
එම රාත‍්‍රිය මිතුරාගේ නිවසේ ගත කළ කණ්ඩායම පසු දින ඔවුන්ගේ ගම් බලා පිටත්ව ගිය අතර මිතුරාගේ රෝගි තත්වය ආයතනය පුරා පැතිර ගොස් තිබු අතර ඔහු හමුවන මිතුරන් විමසන්නේ මචෝ දඩමස් එක්ක රා බොන්න ආයේ ....ගමට ගියේ නැති ද යන්නය. යනවා යනවා උඹලත් වරෙල්ලා සැපක් අරන් එන්න යැයි ඔහු එවිට පවසන්නේ එදින සිදුවූ සිද්ධිය ඔවුන්ට ද රස කර කියමිනි.
හසලක සුනිල් ඒකනායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd