කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



ත්‍රිරෝද රථයේ තිබූ කාන්තා යට ඇඳුමක් නිසා භාර්යාවගෙන් කොසු පහර කෑමට සිදුවූ කුලී ත්‍රිරෝද රථ රියදුරකු පිළිබඳ අපූරු කතාවක් මහ මුහුද ආසන්නයේ නගරයකින් අසන්නට ලැබේ.
ඔහු කසාඳ බැඳ තිබුණේ කටු අත්තකි. ළඟින් ගියත් පැටලෙන ගණයේ කටු අත්තකි.කුලී ත්‍රිරෝද රථ රියදුරා එකක් කීවිට දෙකක් කියන ජාතියේ අඹුවකි. කතාව දිග්ගැස්සුණොත් සැමියාට වුවද තඩිබාන තරබාරු කතකි. සැමියා ගැන සැක කරන්න පටන් ගත්තේ කසාද බැඳපු දා සිටය.


 එදා ඔහු තරුණ යුවළක් සමග කුලී ගමනක් ගියේ ප්‍රසිද්ධ වෙරළකටය. ඒ ඔවුනට මහ මුහුදේ දිය නෑමට තිබූ අවශ්‍යතාවය නිසාය. දිය නෑම සඳහා අවැසි ඇඳුම් පැලඳුම් ද එහි විය. මේ තරුණ යුවළ දිය නා අවසන් කොට ඔවුනගේ නිවසට ඔහු ඇරලු‍වේය. 
ඉන් අනතුරුව ඔහු සිය නිවසට ගියේය. තදට තිබූ කුස ගින්න නිසා ඔහු සිය ත්‍රිරෝද රථය පරීක්ෂා නොකොටම නිවස තුළට ගියේය. ඔහු කෙළින්ම ගියේ මුළු‍තැන් ගෙටය.
ලද අවස්ථාවෙන් ඔහුගේ භාර්යාව ත්‍රිරෝද රථයට ගොඩවී එය පරීක්ෂා කළාය. ආසනයට එහා පැත්තෙන් කාන්තා යට කලිසමකි. එය දකිත්ම භාර්යාව මළ පැන්නාය. ඇය කාන්තා යට ඇඳුම අතට ගෙන කෑම කකා සිටි සිය සැමියාගේ ඇඟට කඩා පැන්නාය. සැමියා නිරුත්තරය. සිතා ගන්නවත් දෙයක් ඔහුට නොවීය. ළඟ තිබුණේ කොස්සය. කකා සිටි ඔහුට ඇය කොසු ප්‍රහාර එල්ල කළාය.
එල්ලවූ කොසු පහරින් ඔහුගේ මොළයට ආවේ තමන් සමග දියනෑමට ගිය තරුණ ජෝඩුවය. ඔහු ඒ බව භාර්යාවට පවසන විට වැදී තිබූ කොසු පහරින් සිරුරේ තැන් කිහිපයක්ම රතුවී තිබුණේය.