කාන්තාවකට වැළදී තිබු අමනුෂ්‍ය දෝෂයක් සුව කිරීමට පැමිණි කට්ටඩියකු එම රෝගය සුවකර හොර රහසේ ඇය රැගෙන පලා ගිය පුද්ගලයකු පිළිබඳ සිද්ධියක් හසලක ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
ඇය තිස් දෙහැවිරිදි රුවැති තිදරු මවකි. වසරක පමණ කාලයක සිට ඇයට කිසියම් රෝගයක් වැළදී තිබු අතර එම රෝගයට ප‍්‍රදේශයේ දේශීය හා බටහිර ​ෙවෙද්‍ය ප‍්‍රතිකාර කළත් සුව නොවුණි. ඇයට වැලදී ඇත්තේ අමනුෂ්‍ය දෝෂයක් යැයි නෑ හිතවතුන් පැවසු නිසා ඒ සම්බන්ධයෙන්ද ප‍්‍රදේශයේ තිබු දේවාල කරා ගොස් කටයුතු කිරීමට ඔවුහු පියවර ගත්හ. එහෙත් ඇයට සුවයක් නොලැබිණි.
ලද ආරංචියකින් පසු ඔවුහු දිනක් පහත දුම්බර ප‍්‍රදේශයේ දේවාලයකට ගොස් කට්ටඩියෙකු හමු වූහ. රෝගියා පරීක්ෂා කර බලා ඇයට අමනුෂ්‍ය දෝෂයක් පවතින බවත් එම දෝෂය තමන්ට සුවපත් කිරීමට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය කළමනා ලැස්තිකරන ලෙසත් තමන් අසවල් දින සවස පැමිණෙන බවත් කට්ටඩියා පවසා ඇයගේ කරට ඇප නුලක් දමනු ලැබීය. තමන් පැමිණෙන බව වෙනත් කිසිවකුට නොකියා සිටින ලෙසද ඔවුන්ට අවවාදයක් කට්ටඩියා විසින් කරනු ලැබීය.


මනමාල පාටක් පෙනෙන තිස් හත් හැවිරිදිවියේ පමණ පසුවන කට්ටඩියා මෙදින පස්වරු 5ට පමණ ඔවුන්ගේ නිවසට පැමිණියේ බෙරකරුවකු ද සමගිනි. පැමිණි කට්ටඩියා ගෘහමුලිකයාගේ සහ බෙරකරුවාගේ සහාය ඇතිව ශාන්ති කර්මයට අවශ්‍ය දෑ සකස් කරගෙන රාත‍්‍රි 9ට පමණ ශාන්ති කර්මය ආරම්භ කර එය අලුයම 1ට පමණ නිමා කරනු ලැබීය.
එදින රාත‍්‍රිය එම නිවසේ ගත කළ කට්ටඩියා පසු දින උදේ ගෘහමුලිකයාට කතා කර කිවේ බිරියට වැලදි තිබු අමනුෂ්‍ය දෝෂයේ කොටසක් ඉවත් කළ බවත් ඉතිරි කොටස අද රාත‍්‍රියේ කළ යුතු බවත්ය.  
බිරිඳගේ රෝගය සුව වී ඇති බවට ඇය ද තම සැමියාට පැවසු අතර එයින් ඔහු බොහෝ සතුටු විය. ආවතේව කටයුතුවලට පැමිණි බෙරකරුවාගේ කුලිය ගෙවා ඔහු මෙදින පැවැත්වෙන දින ශාන්ති කර්මයට අවශ්‍ය නොවන බව පවසා ඔහු පිටත් කර යැවීමට ද කට්ටඩියා කටයුතු කළේය.
මෙදින ද රාත‍්‍රි 9ට පමණ ආරම්භ කළ ශාන්ති කර්මය රාත‍්‍රි 11ට පමණ නිමාකර සියල්ලෝම නිදා ගනු ලැබීය. එදින රාත‍්‍රිය ද කට්ටඩියා එහිම නතර විය. සුපුරුදු පරිදි අලුයම 5ට පමණ අවදි වී ගෘහමුලිකයා බිරියට කතා කර පැවසුවේ උදේ ආහාරයට යමක් සකසන ලෙසත් දින දෙකකින් කුඹුරට යෑමට බැරි වූ නිසා අද වෙලාසනින්ම කුඹුරට යා යුතු බවත්ය.
 එසේ කියමින් බිරිඳ හා දරුවන් නිදා සිටි කාමරයට ගියේය. කාමරයේ බිරිය නොසිටි අතර දරුවන් පමණක් සිටිනු ඔහුට දැක ගැනීමට හැකිවිය. ඇය වැසිකිළියට හෝ ළිඳට වතුර ගේන්න ගියා දැයි සොයා බැලූවත් ඇය එහි නැත. ගෙවත්තේ ද නැත. ඇයට කතා කළත් පිළිතුරක් නැත. 
ඇයගේ අතුරුදන් වීම ගැන පැවසීමට කට්ටඩියාට නිදා ගැනීමට දුන් කාමරයට ගොස් ඔහු පිළිබඳව සොයා බැලීය.  කට්ටඩියා ද එහි නැත. ඔහුට යම් සැකයක් මතු විය. දරුවන් අවදි වු පසු ඔවුන්ට ආහාර පාන සකස් කර දුන් අතර ඔවුන් මව පිළිබඳව විමසීමේදී පැවසුවේ මව ප‍්‍රතිකාර සඳහා රෝහලට ගොස් ඇති බවත් ඇය ඉක්මණින් පැමිණේවි යන්න කියා ඔහු ද නිවසින් පිටත් වූයේ දරුවන්ට කොහේවත් නොයන ලෙසට අවවාදයක් ද කරමිනි.
ඔහු කෙළින්ම ගියේ කට්ටඩියාගේ නිවස වෙතය. එහි යනවිට කට්ටඩියා නිවසේ නොසිටි අතර ඔහුගේ බිරිය  පමණක් නිවසේ සිටියාය. ඇයට සියලු විස්තර පැවසු විට ඇය පැවසුවේ ‘‘ඔය නොසන්ඩාලයා ඔහොමමයි.  ඕකා දන්න මන්ත‍්‍ර ශාස්ත‍්‍රයක් නෑ. කරන්නේම ඔහොම නොහොබිනා වැඩමයි.” යැයි ඇය ඔහුට පවසා මම ඔයාගේ බිරිය හොයලා ඉතා ඉක්මනින්ම ගෙදර එවන්නම් යැයි කියා ඔහු පිටත්කර හැරියේය.
ගත වූයේ දින දෙකකි. ඇය නිවස කරා පැමිණියේ කට්ටඩියාගේ බිරියද සමඟිනි. එහිදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව කළ වරදට ඇය සැමියාගේ දෙපා වැඳ සමාව ඉල්ලා සිටි අතර ඔහු පැවසුවේ මේ දරුවන් තිදෙනා නිසා තමන් නැවත භාරගන්නා බවත් මෙවැනි නොහොබිනා වැඩක් මින් මතුව කර තිබුණොත් ආයේ තමන්ගෙන් කිසිම සමාවක් නොලැබෙන බව කියමින් ඇයට නිවස තුළට යෑමට අවසරදී කට්ටඩියාගේ බිරියට ස්තුතිකර ඇයට ආහාර පාන වලින් සංග‍්‍රහ කොට අතට බස් ගාස්තුවක් ද දී පිටත් කර යැවීමට ඔහු කාරුණික වි තිබිණි.

 

හසලක සුනිල් ඒකනායක