ඔත්පළව සිටි තම නැන්දම්මා මියගියා යැයි සිතා තම සේවා ස්ථානයෙන් නිවාඩු ලබා  මළගමට ඇඳීමට අලුත් ඇඳුම් රැගෙන නිවසට පැමිණි  කාන්තාවක පිළිබඳ පුවතක් දකුණෙන් වාර්තා වේ. 
මැදිවියෙහි පසු වුවද මනා රූ සපුවකින් හෙබි කාන්තාවකි. දරුවන් දෙදෙනකුගේ මවක වූ ඇය මාතර නගරයේ පෞද්ගලික ආයතනයක සේවයේ නියුක්ත විය. තමන්ගේ රූපය ගැන  නිරන්තරයෙන් සැලකිලිමත් වූ ඇය මසකට වරක් හෝ දෙවරක් රූපලාවන්‍ය ආයතනයට යාමට අමතක නොකළා ය.
ඇය තම සැමියා දරු දෙදෙනා සහ සැමියාගේ මවද සමග එකම නිවසක ජීවත් වූවාය. වියපත් තැනැත්තියක් වූ සැමියාගේ මව නිරන්තරයෙන් රෝගීවීම හේතුවෙන් ඔත්පළව ඇඳමත වැතිර සිටියා ය. සැමියා දුරබැහැර ප්‍රදේශයක රැකියාව කළ බැවින් මේ සියලු‍ කටයුතු පිළිබඳ සොයා බැලීමට ඇයට සිදුවිය.


දිනක් ඇය තම කාර්යාලයේ රාජකාරි කරමින් සිටින අවස්ථාවේ දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කලබලයට පත් වූ ඇය යෙහෙළිය ළඟට ගොස් ”‍ගෙදර හදිසියක් දැම්ම කාටවත් කියන්න එපා”‍ යැයි පවසා ඇයගෙන් මුදලක් ද ඉල්ලාගෙන කෙටි නිවාඩුවක් දමා කෙලින්ම ගියේ නගරයේ ඇති සුවිශාල රෙදිපිළි වෙළඳසලක් වෙතය. මළගෙදරකට ඇඳිය හැකි සුදු පැහැති ඉස්තරම් වර්ගයේ ඇඳුම් කිහිපයක් මිල දී ගෙන ත්‍රීවීල් රථයක නැගී  නිවස වෙත ගියා ය.
ඇය නිවසට යන විටත් තම යෙහෙළිය නිවසට පැමිණ සිටි අතර ගෙදර කරදරයක් නැති බව පෙණිනි. යෙහෙළිය ළඟට පැමිණ මෙතෙක් වේලා ගියේ කොහේ දැයි විමසීය. ”‍නෑ අනේ අම්මට ගොඩාක්ම අමාරුයි කියලයි කෝල් එක දුන්නේ. එහෙම වුණා නම් පිළිවෙළකට අඳින්න ඇඳුම් මා ගාව තිබුණේ නෑ. මොකද මළ ගෙදරට එන අය පිළිගන්න වෙන්නෙත් මට නේ. පෙනුමට  ඉන්න ඕන  නිසා ඇඳුම් සහ අඩුපාඩු ටිකක් ගන්න මං සාප්පුවලට ගියා”‍ යැයි ගාණකට නොගෙන පැවසීය.
ඔයා නම් හරිම කෙනෙක් තමයි, මම තව කීහිප දෙනකුටත් මේ පණිවිඩය කියාගෙනයි ආවේ. ඒ අයත් ළඟම එනවා ඇති යනුවෙන් පවසා යන්නට ගියේ දුරකථන ඇමැතුමක් ලබා ගනිමින් ඇයට ද නොකියාම ය.
පසුව දැනගන්නට ලැබුණේ සැමියාගේ මව එම අවස්ථාවේ සිහිමූර්ජා වී අසාධ්‍යව සිටි අතර දැනට සුවය ලබා යහතින් සිටින බවත් ඇය තමා ගෙනා ඇඳුම් ඇඳීමට නොහැකිව ලත වෙන බවත් ය.

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්.