බයිට් එකට පිසීමට නිවසට රැගෙන ආ කොරළි මාළු පාර්සලය අතුරුදන් වීම පිළිබඳව උරණ වූ දෙදරු පියකු බිරිය සහ කුඩා දරුවන් දෙදෙනා පැය තුනක පමණ කාලයක් නිවසේ කළුවරේ තැබු පුවතක් දුම්බර ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
එදිනෙදා කුලී රැකියාවෙන් සිය ජීවන ගමන ගෙන යන ඔහු තිස්හය හැවිරිදි වියේ පසු වන දෙදරු පියෙකි. ඇතැම් දිනවල වැඩ නිමවී නිවසට පැමිණෙන විට මත් වතුර යම් ප‍්‍රමාණයක් සහ එය පානය කිරීමට බයිට් එකට අවශ්‍ය සහ දරුවන්ගේ ආහාරයට කොරළි මාළු හෝ මස් ප‍්‍රමාණයක් ද රැගෙන එනු ලබන අතර බිරිය විසින් එම බයිට් එක සකස් කර දීම ද සාමාන්‍ය දෙයකි. මත් වතුර පානය කළත් ඔහු නිවැසියන්ට හෝ අසල්වාසීන්ට කරදරයක් නැති කෙනෙකි.
මෙදින වැඩ අහවර වී නිවසට පැමිණියේ සවස 5ට පමණය. එන විට මාළු පාර්සලයක් ද රැගෙන ඒමට අමතක නොකළේය. නිවසට ගොඩ වූ ඔහු බිරිඳට කතා කොට කීවේ මේ මාළු ටික හොඳට හදාලා දරුවන්ටත් දීලා මටත් තියන්න මම චූටි ගමනක් ගිහිල්ලා එන්නම් කියා රැගෙන ආ මාළු පාර්සලය සාලයේ කුඩා මේසයක් මත තබා ඔහු නිවසින් පිටව ගියේය.
ඒ වන විට ඇය සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහය වෙමින් දරුවන් සිටි කාමරයේ සිටියාය. සැමියා පැවසු දේ ගැන ඇයට නිනව්වක් නැත. දරුවන්ගේ වැඩවලට ඇය තවදුරටත් උදව් කරමින් සිටියේ කුඩා දරුවා මෙවර යම් විභාගයකට පෙනි සිටීමට නියමිත හෙයිනි.
පැයක පමණ කාලයකින් පසු ඔහු නිවසට පැමිණි අතර නිවසට ගොඩ වූ ඔහු බිරියගෙන් විමසුවේ කෝ අරක හැදුවා නම් ගමුකෝ කියාය. එහෙත් ඇයට සැමියා පවසා ගිය කාරණය මතක නැත. මොන දේ ද ? ඇය ඔහුගෙන් විමසුවාය. ඇයි මම මෙතන තියපු මාළු පාර්සලය. මම කියලා ගියේ උයා තියන්න කියල නේ. යැයි ඔහු පැවසීය. ඇය පැවසුවේ එවැනි පාර්සලයක් මේසය මත නොතිබු බවත් තිබුණා නම් එය වෙනදා මෙන් සකස් කර තබන බවත්ය.
එම වදනින් පසු ඔහු නිවසේ සොයා බැලූවේ තමන්ට අමතක වී වෙනත් තැනකවත් මාළු පාර්සලය තැබුවා වත්දෝයි කියාය. එහෙත් කිසිම තැනක එම පාර්සලය දක්නට නැත. මෙයින් තදබල ලෙස කිපුණු ඔහු පැවසුවේ ‘‘මේ පාඩම් කිරිල්ලක් නිසා ගෑනිත් දරුවොත් එක්කම මැරෙන්න හදනවා. මහන්සිවෙලා එන මට නිවී සැනසිල්ලේ බත් කටක් කන්නවත් හරිගස්සලා දෙන්නේ නැහැ. ඉඳපල්ලා අද උඔලට හොඳ වැඩක් කරන්නම්” කියා නිවසට විදුලිය සපයන ප‍්‍රධාන ස්විචය ගලවා අතට ගෙන ”හා දැන් පාඩම් කරපල්ලාකෝ” කියා එම ස්විචය ද රැගෙන නිවසින් පිටව ගියේ නිවසේ සැමටම දොස් නගමිනි.
විදුලිය විසන්ධි කොට සැමියා නිවසින් පිටව ගිය පසු ඇය ඉටි පන්දමක් දල්වා නිවස ආලෝක මත් කරන්නට පියවර ගනු ලැබු අතර සැමියා පැවසු මාළු පාර්සලය පිළිබඳව ද ඇය දරුවන් සමඟ සොයා බැලූවත් එවැන්නක් දැක ගත නොහැකි විය.
ඔහු පෙරළා නිවසට පැමිණියේ පැය තුනක පමණ කාලයකින් පසුවය. එසේ පැමිණි ඔහු රැගෙන ගිය විදුලි ස්විචය නැවත සවිකර දරුවන්ගෙන් සහ බිරියගෙන් සමාව ඉල්ලා සිටියේ තමන්ට ආ කේන්තියට මේ වගේ වැඩක් කළත් එයට සමාව ලබා දෙන ලෙසත් මින් මතු මේ දහජරාව කටේ නොගාන බවත් මෙවැනි දෑ මින් ඉදිරියට නොකරන බවත් මේසය මත තබා ගිය පාර්සලය නිවසට ඇතුළු වූ බල්ලකු හෝ රිළවකු රැගෙන යන්නට ඇති බව ද පවසමිනි.
මෙය නිවසේ සිදු වූ සිද්ධියක් වුවද ගමපුරා මෙය පැතිර ගිය අතර මාළු පාර්සලය ද හොයන්නේ කියා කොල්ලන් කුරුට්ටන් දකින විට ඇසීමෙන් වෙනදා වගේ දරුවන්ගේ තාත්තා පාර තොටේ ගමනත් අඩු කරලලු.
හසලක සුනිල් ඒකනායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd