මාළු පාන් ගෙඩිය ලස්සන නැති බව පවසමින් මිලදී ගත් මාළු පාන් ගෙඩියෙන්ම චූන් පාන් කරුට පහර දුන් කිරිඅම්මා කෙනකුගේ කතා පුවතක් බුලත්කොහුපිටිය ප්රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
ඇය වයස හැත්තෑවක් පමණ වන කිරි අම්මා කෙනෙකි. සෑම දිනකම පාහේ මේ කිරි අම්මා චූන් පාන් විකුණන ත්රිරෝද රථයකින් පාන් බනිස් මිලදී ගැනීමට පුරුදුවී සිටියාය. ඇය මිලදී ගන්නා පාන් බනිස් ගෙදර සිටින අයට පමණක් නොව අහල පහල සිටින සතුන්ට පවා දෙන්නට ඇය පුරුදුවී සිටියාය.
මේ නිසා චූන් පාන්කරුට මේ කිරි අම්මා තමන්ගෙන් පාන් මිලදී ගන්නා ප්රධාන පාරිභෝගිකයකු බවට පත්ව සිටියාය. චූන් පාන්කරු සෑම දිනකම පාහේ අර කිරි අම්මා සිටින නිවස යාබද පාරෙන් ගමන් කරන කොට මදක් විමසිලිමත්ව හිමින් සීරුවට ත්රිරෝද රථය පැදවීමට ඔහු වගබලා ගත්තේ කිරි අම්මා පාන් ගැනීමට නිතරම එන බැවිනි.
ඇය චූන් පාන්කරු තම ගමට පැමිණෙන වේලාව වෙන විට පාන් ගැනීමට සූදානම්ව සිටියාය. වයස අවුරුදු හැත්තෑවක් පමණ වුවත් මැය මහත් පිළිවෙළට නිවසේ පවා ජීවත්වෙයි. ඇය පිළිවෙළට ඇඳුම් අඳියි. ඒ නිසා ඇය මිලදී ගන්නා කෑම භාණ්ඩ මෙන්ම අනෙකුත් භාණ්ඩ වලත් නිතරම ගුණාත්මක භාවය මෙන්ම කලාත්මක භාවයත් බලයි. පාන් බනිස් මිලදී ගන්න ගියත් හොඳට කර නොවූ පාන් සේම පිළිවෙළකට සකස් කර තිබෙන බනිස් තෝරා ගැනීම ඇගේ සිරිතය.
මේ නිසා චූන් පාන්කරුවාද ඇයට හොඳම පාන් බනිස් දීමට පුරුදුවී සිටියේය. මෙම කිරි අම්මා කා අතරත් ගමේ ඉතාමත් කුළුපගව කටයුතු කරන තැනැත්තියකි. බුලත් විටක් පවා සැපීමට මුන්දෑ මහා රුචියක් දක්වයි. පාන් කොල්ලා පවා ඇතැම් වේලාවල් වල මුන්දෑට යන එන ගමන් බුලත් විටක් පවා ගෙනැත් දීමට කටයුතු කළේය.
කොයිතරම් කවුරුත් කුළුපග වුණත් පොඩි වැරැද්දක් වුණ කළ හොස්ස ළඟින් මැස්ස යන්නට මුන්දෑට බැරිය. පසුගිය දිනක සුපුරුදු චූන්පාන්කරු අසනීප විය. ඒ වෙනුවට වෙනත් කොල්ලෙක් පාන් අරන් ගමට ආවේය. අර කිරි අම්මා චූන් පාන් රථයේ හඬ ඇසෙද්දීම උදේ පාරට ආවේ බනිස් ගෙඩියක් මිලදී ගැනීමටය. චූන් පාන් රථය ඇය ඉදිරියේ නතර කළේය. රථයේ රියදුරුගේ මුණ බැලූ මුන්දෑ අද අර කොලුවා නැද්දැයි ඇසුවාය. මුදලාලිට සනීප නැහැ කිරි අම්මේ යැයි කොලුවා කීවේය. හම්. එහෙමද එහෙනම් මට මාළු පාන් ගෙඩියක් දියන්කෝ යැයි කිරි අම්මා කීවාය.
මුන්දෑගේ වං හුං කිසිවක් නොදත් මේ කොළුවා අතට අහුවුණ ඇද වෙච්ච කිසිම පිළිවෙළක් නැති මාළුපාන් ගෙඩියක් මුන්දෑ අතට දුන්නේය. මොකක්ද යකෝ මේ මාළු පාන් ගෙඩිය මේක ඇද වෙච්ච එකක් නේ යැයි කියමින් වචන කියන්නට විය. චූන් පාන් කොල්ලා ද කිසි ගානක් නැතිව ආච්චි මේවා තමයි තියෙන්නෙ, ඔයා ගන්නවා නම් ගන්න නැත්නම් තියලා යන්න යැයි කියන්නට විය.
යකෝ මේකගෙ ගෙම්බර ගමටම ඇවිල්ලා තෝ අපිටම පාට් දානව ද යැයි පවසා, ආ උඹේ මාළු පාන් ගෙඩිය තියා ගනින් කියා මුන්දෑ ඒ මාළු පාන් ගෙඩියෙන්ම කොල්ලාගේ මූණට දමලා ගැසුවාය. කොල්ලාගේ මුණේ වැදුන මාළු පාන් ගෙඩිය පාරට වැටී ඒ අසල සිටි බල්ලෙක් ඒක රැගෙන කා දමන්නට විය. වටපිට බැලූ චූන් පාන් කොල්ලා මූණ අතින් පිහදාගෙන විදුලි වේගයෙන් චූන් පාන් රථයෙන් යන්නට ගියේය. අද වෙනතුරු ඒ චූන් පාන් මල්ලී පාන් දාන්නට ඒ ගමට යන්නෙ නැත්තේ කිරි අම්මාගේ මාළු පාන් කනේ පාර නිසා බව ගමේ පිරිස කියති.
උඳුගොඩ - වාර්තාකරු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd