පෝද්දල සරත් ආනන්ද ගමගේ 



මිතුරාගේ බිරියගේ මළ ගෙදරට ගිය පුද්ගලයකු දහවල් කෑමට පෙර පොඩි “ෂොට්”‍ එකක් දාගන්නැයි කියා ලැබුණු බෝතලය අඩියටම හිස්කර ගෙදර එන්නට නොහැකිවී පසුදින පැමිණි පුවතක් ගැන බස්නාහිර පළාතේ නගරයකින් පසුගියදා වාර්තා විය.
මෙම තැනැත්තා දකුණු පළාතේ අග නගරය ආසන්නයේ පදිංචි ළඟදී විශ්‍රාම ලැබූවෙකි. රැකියාව කළ සමයේ එකට වැඩකළ සගයකුගේ බිරිය වසර තුනක පමණ කාලයක් රෝගයකින් පෙළෙමින් සිට පසුගියදා මියගිය පුවත මුහුණු පොතේ පළවූ පෝස්ටුවකින් දැක ඇත්තේද ඔහුය.
ඒ පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුව සිද්ධිය පිළිබඳව ඔවුන්ගේ වට්ස් ඇප් ගිණුමට එය ඇතුළුකිරීමට ඔහු කටයුතු කළේය. ඒ අනුව සහභාගී වන සියලු‍දෙනා අවසන් කටයුතු සිදුකරන දින සහභාගී වීමට කතිකාකර ගත්තේය.
අපේ කතානායකයා දකුණු පළාතේම පදිංචි එම ආයතනයේම සේවය කළ මිතුරකු සමග එකම දුම්රියේදී හමුවී ගමනට සහභාගි විය. එසේ හමුවූ මිතුරා තමාට එදින සවස කලින් යොදාගත් රාජකාරියක් ඇති බැවින් ඉක්මනින් පැමිණිය යුතු බවද සඳහන් කළේය. එහෙනම් අපි කෑම කෑ සැනින්ම නැවත එමු යැයි දෙදෙනා එකඟතාවටද පැමිණ තිබුණි.
ඔවුහු දුම්රියෙන් බැස වාහනයකින් පැමිණි තවත් මිතුරන් දෙදෙනකුද එකතුකර ගනිමින් දහවල් දහයයි තිහ පමණ වනවිට මළගෙදරට ළඟා වූහ. ඔවුන් ගියපසු තවත් මිතුරන් සිව් දෙනකුද මළගෙදරට පැමිණියහ. මළ ගෙදරට ඉදිරිපස නිවෙසද ඔවුන්ටම අයත් එකකි. මිතුරුතුමෝ සෙට් එක එම නිවෙසට වී සාද කතා පවත්වමින් සිටියහ.
දහවල් වනවිට මළගෙදර මිතුරා කෑමට පෙර පොඩි “ෂොට්”‍ එකක් ගනිමු නේදැයි අසමින් මත්වතුර බෝතලයක් හා ඊට ඇවැසි කළමනාද ගෙනැවිත් දුන්නේය. අපේ කතානායකයා සමග බොන්න සෙට් වුණේ තවත් එක් අයකු පමණි. බීමතින් රිය පැදවීමේ චෝදනාවට ලක්විය නොහැකි බැවින් බොහෝ දෙනකු කනගාටුවෙන් වුවද අමද්‍යප වීමට තීන්දු කළහ. දුම්රියෙන් ගිය අනෙක් සගයාද මිතුරාගේ බලවත් ඉල්ලීමට එක් වඩියකින් පමණක් සප්පායම් විය.


දැන් මිතුරා පැමිණ කෑම කන්නැයි ආරාධනා කළද අපේ කතානායකයා බෝතලය අතහැරීමට සූදානම් නැත. ඔහු සමග පැමිණි මිතුරා පිටවයාමට සූදානම් බැවින් ඉක්මනින්ම කෑම කෑවේය. ඔහුත් සමග තවත් කීප දෙනකුම කෑම කෑවෝය. ඒත් බෝතලයට වහවැටී සිටි දෙදෙනා හා ආසන්න නගරයක පුද්ගලයකු හැර අනෙක් සියලු‍ දෙනා කෑම කා පිටව ගියහ.
බෝතලයේ අඩිය දකිනවිට අර තැනැත්තාට නැගිට ගැනීමටවත් නොහැකි මට්ටමට පදම්වී තිබූ බැවින් ඔහුට එසේම ඉන්නට හැර අනිත් දෙදෙනාද පිටව ගොස් තිබුණි. ඔහු එම ස්ථනයේම පසුදා පහන්වනතුරු සිට උදෑසනම අවදිව ගෙදර ගිය බවත් ඒ පිළිබඳ තොරතුරු ඔවුන්ගේ වට්ස් ඇප් සමූහයේ පින්තූර සමග පළවී ඇතැයිද වාර්තා වේ.