රාත්‍රී කාලයේ මළ ගෙදරට ගිය තරුණයන් දෙදෙනකුට ආහාර ගැනීමට ගොස් සිදු වූ අකරතැබ්බයක් ගැන අපූරු කතාවක් දකුණු පළාතේ නගරාසන්න ගමකින් පසුගිය දා වාර්තා විය.
එම ප්‍රදේශයේ මැදිවියේ යුවළක් වෙසෙන නිවසක සුදු කොඩි ඇද තිබෙනු දකින ආසන්න නිවසක තරුණයෙක් තම මිතුරකු ද සමග සැන්දෑ යාමයේ එම මළ ගෙදරට ගියේය.
ඔවුන් ගමන් කළ යතුරු පැදිය නතර කිරීමට ගියේ අසල්වැසි නිවසටය. මළ ගෙදරට සහභාගි වන අය වෙනුවෙන් කෑම සූදානම් කර තිබුණේ ද එම නිවසේය. මෙම තරුණයන් දෙදෙදනාගේ මිතුරෙකු ද එම අවස්ථාවට සහභාගි වී සිටි අතර ඔහු සිටියේ කෑම ගැනීමට සුදානමිනි. මිතුරන් දකින ඔහු ‘‘වරෙල්ලා බත් ටිකක් කාලම යමු’’ කියා යහළුවන් දෙදෙනාට ද කෑමට ආරාධනා කළේය. යහළුවෝ දෙදෙනා දෙගිඩියාවකින් තොරවම කෑම ටිකක් කාලම මළ ගෙදරට යමු යැයි එකඟවී කෑම බෙදාගන්නට ගියහ. කෑම බෙදාගත් එක යහළුවකු කෑමට ආරාධනා කළ මිතුරා අසල හිස්ව තිබුණු පුටුවේ අසුන් ගත් අතර අනිත් තරුණයා හිඳ ගැනීමට පුටුවක් තිබේදැයි වටපිට බැලීය. එම අවස්ථාවේ එහි පුටුවක අසුන්ගෙන සිටි මැදිවියේ පුද්ගලයෙක් ‘‘පුතා මෙතනට එන්න’’ යි කියා ඔහු අසල පුටුවක් පෙන්වීය.
තරුණයා එම පුටුවේ හිඳගෙන කෑම කමින් වැඩිහිටියා සමග කතාවට වැටෙමින් ‘‘මේ අංකල් හොඳට හිටියනෙ. මොකද එක පාරටම වුණේ.?’’ කියා ඇසීය.
‘‘අංකල් නම් ඔය ඉන්නෙ හොඳට මේ ළමය තාම මළ ගෙදරට ගියේ නැද්දැයි’’ ඇසීය.


මහත් ලජ්ජාවට පත් ඔහු තමාට තවම එහි යන්නට නොහැකි වූ බවත් බයික් එක නතර කිරීමට පැමිණි අවස්ථාවේ එහි කෑම ගනිමින් සිටි මිතුරෙකුගේ ආරාධනාව අනුව කෑම ගැනීමට සිදුවූ බවත් කියමින් ඇත්තම කතාව කියා ඇඟ බේරා ගත්තේය.
පසුව ඔවුන් දෙපල මළ ගෙදරට ගොඩවී මියගිය අයට අවසන් ගෞරව දැක් වූ අතර මියගොස් සිටියේ ඔවුන් හඳුනන අංකල්ගේ ආදරණීය බිරිඳය. පසුව ඔවුන් මළ ගෙදරට පැමිණ සිටින ජනයා අතරේ ඉඳගෙන සිටින විට දී නිවසේ හිමිකරු වන ඔවුන් හඳුනන අංකල් පැමිණ ආයුබෝවන් කියා අර තරුණයන් දෙපළ පිළිගෙන’’ කෑම ටිකක් කාලම යමු’’ යැයි ආරාධනා කළේය.
‘‘ එපා අංකල්  අපි කෑම කාල ආවේ’’ යැයි කීව ද‘‘ නෑ නෑ කෑම ටිකක් කාලම යන්න ඕන’’ කියමින් ඔහු හඳුනන තරුණයාගේ අතින් අල්ලාගෙන දෙපළම කෑම මේසය වෙත කැඳවාගෙන ගියේය. අර තරුණයාට කෑම එකක් බෙදා අතටම  ගෙනැවිත් දී  ‘‘පුතාල කන්න’’ මම  ගෙවල් පැත්තට යනවා’’ කියමින් නිවසට ගියේය. අනිත් තරුණයා ද බත් කටවල් දෙක තුනක් බෙදාගෙන යහළුවා අසලින්ම වාඩිවිය.
ඔවුන් දෙපළ  ආහාර  ගනිමින් සිටින අවස්ථාවේ අර මුලින් කෑම කනවිට සිටි වියපත් පුද්ගලයා ඒ අසලට පැමිණ ‘උඹල දෙන්නා ආයෙම බත් කනවාදැ’’ ඇසීය.’’මේ අහල පහළ ඉන්න බොලා ඇවිල්ල මේ විදියට දෙපාර තුන්පාර කන්න ගත්තම දුර ඉඳල  එන මිනිස්සුන්ට කොහොමද අපි කන්න දෙන්නේ’’ යැයි කියමින් ඔහු තරුණයන් දෙපළට දෝෂාරෝපණය කළේය.
ඔවුන් දෙපළට කට උත්තරත් නැතිවිය. එම අවස්ථාවේ එහි කෑම ගනිමින් සිටි අයද මොවුන්ගේ ‘‘කෑදරකම’’ ගැන අප්‍රසාදය පළ කළෝය. මහත්  ලජ්ජාවට පත් තරුණයන් දෙපල කෑම පිඟන් දෙක පසෙක තබා අත සෝදාගෙන බයික් එකේ නැගී එම ස්ථානයෙන් පිටවී ගියේ ලැජ්ජාව ඉවසාගත නොහැකිවය.
මෙම පුවතට පණ ලැබී සිද්ධිය ගමපුරා ආරංචි වී ඇති  අතර  තරුණයන් දෙපළ මේ වනතෙක් ගමේ කිසිවකුටත් මුණගැසී නැතැයි ද වාර්තා වේ.  

පෝද්දල සරත් ආනන්ද ගමගේ