හෝමාගම ප්‍රියන්ත ජයලත්



රජයේ ආයතනයක සේවකයකු ආයතනයේ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ කැමරාවෙන් මුහුණ බලාගෙන කොණ්ඩය හදන්න ගිහින් රාජකාරි වෙලාව නිමවීමට පැය තුනකට පෙර රාජකාරිය නිමවන වේලාව සටහන්වීමේ සිද්ධියක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
නුගේගොඩ ප්‍රදේශයේ රජයේ ආයතනයක සේවකයෙකු පසුගිය දිනක උදේ 8 ට පමණ රාජකාරියට වාර්තාකර ඇති අතර සවස 2.30 වන තෙක් ඔහු රාජකාරි කළ යුතුව ඇත. 
ඒ අනුව ඔහු ඔහුට පැවරී තිබෙන දෛනික රාජකාරියෙන් කොටසක් අවසන් කර විවේක කාලයේ ජලය ටිකක් පානය කර මුහුණ සෝදා ගෙන ඇඟිලි සලකුණු යන්ත්‍රය ආසන්නයට පැමිණ මිතුරන් සමඟ කතා කරමින් සිට ඇත.
 එසේ කතා කරමින් සිටින අතරතුර ඔහු අසල තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ ප්‍රදර්ශන තිරයෙන් මුහුණ බලාගෙන කොණ්ඩය සකස් කර ඇත. එම යන්ත්‍රය ආයතනයේ සේවකයන්ගේ ඇඟිලි සලකුණට මෙන්ම ඔවුන්ගේ ඇස් වලටද ක්‍රියාත්මක වන ලෙස සම්බන්ධ කර ඇත.


ඔහු එසේ කොණ්ඩය සකස් කරමින් සිටියදී එකවරම ඔහුගේ ඇස් දෙකට යන්ත්‍රය ක්‍රියාත්මක වී ඔහුගේ රාජකාරිය නිමා වන වේලාව සටහන් විය.
  එම අවස්ථාවේ ඔහු කලබල වී වෙලාව බැලු‍වේය. ඒ වන විට වෙලාව පෙරවරු 11.45 සටහන් වී තිබිණ. ඔහුට දෙයියෝ සිහි විය. රාජකාරිය නිම කිරීමට ඔහුට තව පැය තුනක කාලයක් තිබිණ. එහෙත් එසේ වෙලාව සටහන් වීම නිසා ඔහුට වරුවකින් නිවසට යාමට සිදුවිය.