කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



විදෙස් රටක වැසියන් පිරිසකට ඔවුන්ගේ රටේ දී අපූරු මල් පැළ වර්ගයක් හඳුන්වා දුන් අපේ රටේ පිරිසක් පිළිබඳව අපූරු කතාවක් ඊයේ පෙරේදා අසන්නට ලැබුණේ ගාලු‍ දිසාවේ ගමකිනි.
මෙරටින් එම රටට  පිරිසක් ගියහ. ඒ විවිධ වෘත්තීන් සඳහා ශ්‍රමිකයන් ලෙසය. ඒ තමන්ගේ නැති බැරිකම දුරු කොට ජීවන තත්ත්වය උසස් කර ගැනීමටය. ඒ සඳහා අවැසි මුදල් ඔවුන් සොයාගෙන ඇත්තේ ඇතැමුන් සිය භාර්යාවන්ගේ කණකර ආභරණ උකස් කොටය. ඉඩකඩම් උකස් කළ අයද මේ අතරය. වාණිජ බැංකුවලින් ණය මුදල් ලබාගෙන ගිය අය ද නැත්තේ ද නොවීය.
එසේ එම රටට ගිය මේ ශ්‍රමිකයින්ට නතර වීමට ලැබී ඇත්තේ තට්ටු නිවාසයකි. එහි එම රටේ  ජාතික ශ්‍රමිකයෝ ද විසූහ. ශ්‍රී ලාංකික පිරිස එම රටට ගොස් ටික දිනකින්ම මල් පෝච්චි කිහිපයක්ම ගෙන ආහ. එම රටේ අය අපේ අයගෙන් අසා ඇත්තේ මල් පෝච්චි නේවාසික ස්ථානයට ගෙන ආවේ මන්දැයි කියාය. අපේ අය කියා ඇත්තේ දුර්ලභ ගණයේ හොඳ  මල් ඇට ටිකක් ලැබුණු බැවින් ඒවා සිටුවීමට බවය. මෙහි අරමුණ කුමක් දැයි එම රටේ අය ඇසූ විට අපේ අය කියා ඇත්තේ තමන්ගේ නේවාසික උඩුමහල අලංකාරය කිරීමට යයි කියාය. එය ඇසූ එම රටේ ශ්‍රමිකයෝද  සතුටු වූහ. මේ ශ්‍රී ලාංකිකයින් පිරිස අපූරු මල් වර්ගයකින් සිය රට අලංකාරය කිරීම ගැන එම රටේ ශ්‍රමිකයෝ  අපමණ සතුටට පත්වූහ. ඔවුහු මේ අයට ඒ සඳහා අවැසි පහසුකම් ද සපයා දුන්හ.


අපේ අය තමන් ගෙනා මල් පෝච්චිවල මේ අපූරු මල් ඇට පැළ කළහ. ඒ මල් ඇට දවසට දෙකට ඇදී ආවේය. ඇත්තටම මේ මල් වර්ගය මින් පෙර තමන් කවදාවත්ම නොදුටු බව ඊශ්‍රායලයේ අය කීහ. මේ මල් පැළ මනා ලෙස වැඩෙමින් තිබෙනු දැකීමෙන් ඔවුහු අපමණ සතුටට පත්වූහ. මේ මල් ගස් හොඳින් වැඩුණු පසු ඒවායේ අතරින් පතර කොළ අඩුවෙමින් තිබුණේය. එම රටේ අය මේ ගැන අපේ අයගෙන් විපරම් කිරීමේ දී අපේ අය කියා ඇත්තේ නරක් වූ පත්‍ර මෙසේ ඉවත් කළ බවය.
ගත වූයේ කෙටි කාලයකි. මේ අපේ අය නේවාසිකව සිටි තට්ටු නිවාසයට එම රටේ පොලීසිය පැන්නේය. අපේ අය වවා තිබූ මල් පෝච්චි සියල්ලම අත්අඩංගුවට ගත්තේය. ඒ සමගම මේ මල් වැවූ අයද ඊට හසුවූහ. පොලීසිය පැන්නාට පසුව අපේ අය සමග සිටි එම රටේ ශ්‍රමිකයන් අපේ අය වවා ඇති අපූරු මල් වර්ගය කංසා බව දැන ගෙන තිබේ. මේ අපූරු මල් පැළ සිටවූ අපේ අයට ඒ සඳහා ඒ රටේ පවතින නීතිය ක්‍රියාත්මක කෙරිණ.
අපේ අය වැවූ මේ අපූරු මල් පැළ ගැන එම රටේ පොලිසියට ඔත්තුව ලබා දී ඇත්තේ ද ඔවුන් සමග සිටි අපේ අය කිහිප දෙනෙකි. ඔවුන් මේ අපූරු මල් ඇට ගෙන ගොස් ඇත්තේ මෙරටින් බවද අනාවරණය වී තිබේ.