පෝද්දල සරත් ආනන්ද ගමගේ
බිරිඳ රෝහලට ගොස් එනතුරු සැමියාට පවරා ගිය වැඩ ඉක්මනින් නිමකර ඈ තවත් සතුටු කිරීමේ අරමුණින් කොස් ගෙඩියක් කඩා තම්බන්නට ගිහින් සිදුවූ අලකලංචියක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
හෙතෙම බොහෝම මෑතදී විශ්‍රාම ලැබූ අයෙකි. රජයේ රැකියාවැති පුතෙකි. දැන් ඔහු බිරිඳගේ කාර්යන්ටද හැකි පමණ උදව් කරමින් දවස ගෙවයි.
මොහුගේ බිරිඳගේ අතක ආබාධයක් ඇතිවී ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයා, ඇය රෝහලේ මාසික සායනය වෙත යොමු කළේය. සායනයට ගිය මුල් ගමනට දෙදෙනාම ගිය අතර, ඉන්පසු එම ගමන බිරිඳ ගියේ තනිවමය.
පසුගිය දිනෙක ඇගේ සායන දිනය යෙදී තිබුණි. බිරිඳ උදෑසන හා දිවා ආහාරය පිළියෙල කොට පුතාගේ දහවල් ආහාර වේලද පාර්සල් කොට සායනයට පිටත්ව ගියේ සැමියාට වැඩ දෙකක් පවරමිනි. ඒ පුත්‍රයාගේ ඩෙනිම් කලිසමක් සේදීම හා ගෙමිදුල් ඇමදීමය. ඔහු බොහෝ සතුටින් ඒ රාජකාරීන් දෙක ඉටුකළේය.
වැඩ දෙකම හමාර කළ ඔහුට බිරිඳ තවත් සතුටු කිරීමේ අරමුණින් කොස් ගෙඩියක් කඩා සුද්ද කළ යුතුයැයි අදහසක් පහළ විය. වත්තේ කොස් ගසක් තිබුණද ඒවා සුද්ද කිරීමට බිරිඳගේ ඇති අකමැත්ත නිසා කොස් ගසේ ගෙඩි ඉදී බිම වැටෙන අතර, අසල්වැසියකු ගෙඩියක් කඩාගෙන ගොස් සුද්ද කර කොටසක් ලබා දුන්නොත් මිසක ගෙදර කොස් කෑමක් නැත.
නිවසේ ඇති ලී ඉනිමග කොස් ගසට හේත්තු කොට ගහට ගොඩවූ ඔහු හොඳට පැසී තිබුණු කොස් ගෙඩියක් බිම හෙළීය. අනතුරුව නිවසේ ඇති පිහි දෙකම ගෙන ආ ඔහු ලොකු පිහියෙන් කොස් ගෙඩිය පලා සුද්ද කරන්නට පටන් ගත්තේය. අත පයේ ගෑවෙන කොහොල්ලෑ පිස දැමීමට පොල් තෙල් බෝතලයද ළංකර ගත්තේය. දැඩි වෙහෙසකින් පසුව කොස් මදුලු ප්‍රමාණයක් ගලවා ගැනීමට ඔහු සමත්විය.
සායනය නිමාවී බිරිඳ නිවසට පැමිණෙනවිට දහවල් දෙක පමණවන නිසා සුද්ද කළ කොස්‍් ටික තැම්බිය යුතුයැයි ඔහු අදහස් කළේය. කොස් කපා පසුව හට්ටියක බහා වතුර දමා දර ළිප අවුලුවා කොස් තම්බන්න පටන් ගත්තේය.
ඔහු කොස් තම්බමින් සිටින අතරවාරයේ බිරිඳ නිවසට පැමිණියේය. ඈ නිවසට ගොඩ වුණේම ‘‘ගෙට එන්න බෑ. පාර පුරාම කොහොල්ලෑ ඇලෙනවා” කියාගෙනය. ඈ ගමන් මල්ල පසෙක තබා පොල්තෙල් බෝතලය සොයාගෙන මුලුතැන් ගෙට ආවේ කකුලේ ඇලුනු කොහොල්ලෑ පිසදැමීමටය. පොල්තෙල් බෝතලය අතට ගත් ඇගේ අතේද කොහොල්ලෑ ඇලුනේය. ‘‘මේ මනුස්සයට පිස්සු හැදිලද මන්දා හැම තැනම කොහොල්ලෑ ගාලා” යැයි ඈ බෙරිහන් දුන්නාය.
‘‘නෑ නෝනා මං අද කොස් තැම්බුවා” කියමින් ඔහු ඇයට ළිපේ තියෙන කොස් හට්ටියේ වහුන් ඇර පෙන්වීය. කේන්තිය සමනය කරගත් ඇය කොස් හට්ටියට එබී බැලුවාය. ‘‘අපි නම් කොස් කන්නෙ තම්බලා. මේ මනුස්සයා කොස් කැඳ හදලා” යැයි කියමින් ඈ නැවතත් ආරූඪ වූවාය. කවදාවත් කොස් තම්බලා නැති මොහු අල තම්බන ප්‍රමාණයටම කොස් තැම්බීමට වතුර දැමීම නිසා කොස් හට්ටිය ‘‘නානු” වී තිබුණේය.
අතේ ඇලුනු කොහොල්ලෑ පිස දමමින් ‘‘වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුණා” යැයි තමාටම කියා ගනිමින් ඔහු වත්ත පහළට බැස්සේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd