රෝගියා කෑමට ප්‍රියතාවයක් දක්වන කළු දොදොල් ගෙදර ළඟටම ගෙනාවත් ඔහුගේ බිරියගේ කට නිසා රෝගියාගේ කටට දා ගැනීමට බැරි වූ පුවතක් ඇතුගල්පුර නගර සීමා ඉසව්වේ ගැමි ගමකින් අසන්නට ලැබෙයි.
දන්නෝ  පවසන ආකාරයට සිද්ධිය මෙසේය.
ආගන්තුකයා වෙසෙන්නේ පිට පළාතකය. ඔහුගේ ළඟම ඥාති පාර්ශ්වය ඇතුගල සීමාවේ මෙකී ගම් දනව්වේය. එදා මෙදාතුර දුකට සැපට දෙපාර්ශ්වයම එහේට මෙහේට ආව ගියහ.


ඔය අතරවාරයේ එම ගමේ වෙසෙන නිවෙස් හිමියා රෝගි විය. ඔහු  රෝහලේ දැඩි සත්කාර  ඒකකයට පවා ඇතුළත් කොට පණ බේරා ගත් අයෙකි. මෙම අසනීප තත්ත්වය  නිසා පවුලේ අය පමණක් නොව අසල්වැසියන් පවා රෝහලටත්, ගෙදරටත් ළඟා වූහ.
එහෙත් අධික වැඩ නිසා ආගන්තුකයාට එහි පැමිණීමට බැරි විය. ඒ නිසාම ඔහු තම බිරියට කතා කොට මෙහි යාමට තීරණය කළහ. ඒ බව රෝගියාට දුරකතනයෙන් දැනුම් දුන්නේය.
“අයියේ අපි එනවා ඔයා බලන්න. එනකොට අයියා කෑමට ආසයි කියන කළු දොදොල් හදාගෙන එන්නම්”‍ ඔහු කීවේය. “අනේ කොච්චර  හොඳද, හුඟ කාලයකින් දැක්කෙත් නෑනේ. මම දොදොල් කන්න මඟ බලාගෙන ඉන්නවා. ඔයා නංගිත් එක්කම එන්න ඕනෑ. තනියම නම් එන්න එපා”‍ රෝගියා ද ආශාවෙන් යුතුව පිළිතුරු  දුන්නේය. එනවා කියූ දිනය උදාවිය. ඔවුන් බසයෙන් බැස අතුරු  මාවතේ යාමට ගමනාගමන පහසුකම්  නැති නිසා ත්‍රී රෝද  රථයකට ගොඩවූහ. එලෙස ගොඩවූ සැණින් එහි එන බව ද ඔහු නැවත රෝගි අයියාගේ පෝන් එකට කෝල් එකක් දෙමින් කීවේය. 
‘‘අන්න මල්ලියි, නංගියි දෙන්නාම ළඟ ළඟම එනවලු‍”‍ ඔහු ඔහුගේ බිරියට ද ඒ බව පැවසුවේය.
“තමුසේ මැරෙන්න වැටිලා ඉද්දින් ආපු නැති ඔවුන් දැන් නාවට කමක් නෑ. ආව නම් ආපු විදියට දවල්ට කාලා යන්න කියනවා. රෑටත් නතර කර ගන්න නම් කැමැති වෙන්න එපා. මට බැහැ ඔවුන්ට තම්බ තම්බා කන්න දෙන්න”‍ හාමිනේ සැරෙන් දෙඩුවාය.
ත්‍රීරෝද රථය මඟ නතර කළේය. ආපසු හංදියට ගිය ආගන්තුකයා එහි ගතමනාව ගෙවා ගෙනා රස කැවිලිත් රැගෙන බිරිය කැටුව ආපසු තම නිවස කරා යාමට බසයකට ගොඩවූහ. එනවා කියූ දෙදෙනා පරක්කුය. එම ෆෝන් එක ද විසන්ධි  වී ඇත. නිවැසියෝ  කලබල වූහ. ඒ ගැන සොයා බැලීමට හංදියට ගිය විට ආව දෙදෙනා ගෙදර අසලටම ඇවිත් හැරී ගොස් ඇති බව ත්‍රීරෝද රියදුරාගෙන් දැනගත්තේය. 
ෆෝන් එක ‘ඔන්’ එකේ තිබියදී රෝගියාගේ බිරිය කීව දේ ඔවුනට ඇසී ගෙයි පස්වත් පාගන්නේ නැතිව ඔවුන් ආපසු ගොස් ඇති බව පසුව වැටහීමේ දී ‘යෝදියේ උඹේ හැකර කට නිසා ඔවුන් ගෙට එන්නෙම නැතිව යන්නම ගිහිල්ලා. විලි ලැජ්ජාවේ බෑ. මදැයි දොදොල් කන්න බලාගෙන හිටියා’ යැයි කියමින් රෝගි සැමියා සුසුම් හෙළුවාලු‍.

මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම