වසර දෙකකට පමණ පෙර මිය ගිය සිය සැමියාගේ දුරකථන අංකයෙන් බිරිඳට මහ රෑ ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන්  මහ කලබෑගෑනියක් සිදු වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි.
වාර්තා වන  අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කන්ද උඩරට  ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචිව සිටි මැදිවියේ පුද්ගලයකු මෙයට වසර දෙකකට පමණ  පෙර හදිසියේ මිය ගියේය. ඔහු සිය බිරිය සහ දරුවන් සමඟ ඉතා ආදරයෙන් ජීවත්ව සිට ඇති අතර හදිසියේ සිදු වූ සැමියාගේ  වියෝව බිරියට දරා ගත නොහැකි වී තිබේ.


ඇය සිය ජංගම දුරකථනයේ සැමියාගේ දුරකථන අංකය ඇතුළත් කර ගෙන තිබූ නමුත් එම දුරකථන අංකය භාවිත නොකළේය. මෙසේ  ටික කලක්  ගත වෙද්දී  ඇය  සිය දුරකතනයේ ඇතුළත් කර ගෙන ඇති සැමියාගේ  දුරකථන අංකයට  ඇමතුම් ගෙන  බැලීමට පෙළඹුනාය. ඒ ඇයට නිරන්තරයෙන් සැමියා සිහි වන  නිසාය.  සැමියා මිය ගොස් ටික කලක් ගත වී තිබීම නිසා ඇය ඇමතුම් ගන්නා විට ඔහුගේ දුරකථන අංකය ක්‍රියා විරහිත වී තිබිණ. 
මෙලෙස සැමියා මිය ගොස් වසර දෙකක් පමණ ගත වීමෙන් පසුව ඇය ගත් එක් දුරකථන ඇමතුමක දී එය නාද වන්නට විය. බියට පත්  බිරිය  දුරකථනය විසන්ධි කර දැම්මේ  බියට පත්වීය. කෙසේ නමුත් ටික වේලාවකින් සැමියාගේ දුරකතන අංකයෙන් ඇයට නැවත   ඇමතුමක් ලැබිණ. ඇය බියට පත්ව තිබූ නිසා එම ඇමතුමට ඇය පිළිතුරු දුන්නේ නැත. ටික වේලාවකින් නැවතත් ඒ අංකයෙන් ඇමතුමක් ලැබිණ. ඇය සිය පාසල් සිසුවකු වූ පුතාට ද කතා කර සිද්ධිය සැළ කර සිටියාය.  ආයෙත්  කෝල් එකක් ආවොත් අපි කතා කරල බලමු යැයි පුතා කීවේය. එසැනින්ම නැවතත් ඇමතුමක් ආවේය. පුතා පිළිතුරු දුන්නේය. එහා පැත්තෙන් කාරුණික කාන්තාවකගේ කට හඩක්  ඇසිණ. ඉන් පසුව බිරිය දුරකථනය ගෙන කතා කළාය.
 ඇය එම කාන්තාවට සිදුව ඇති සියල්ල හෙළි කළාය. කාන්තාව ඇයට ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම  දුරකථන සම්බන්ධතාවය  ලබා ගත්තේ අද බවත් තමන්ට කවුරු කතා කරන්නේදැයි දන්නේ නැති නිසා මඟ හැරුණු ඇමතුම් සඳහා කතා කර බැලූ බවයි. මේ වන විට පාසැල් සිසුවකුවූ පුතාට සිදුව ඇති දේ තේරුම් ගොස් තිබිණ. ඔහු සිය මවට මේ බව පැහැදිලි කර දුන්නේය. සිය පියා ලබාගෙන තිබූ  දුරකථන සිම් පත දීර්ග කාලයක් භාවිත නොකිරිම නිසා එය අවලංගු වී ඇති බවත් එම අංකය මෙම කාන්තාවට ලැබී ඇති බවත්ය. මේ කාරණය පැහැදිලි කර ගන්නා විට සෑහෙන වේලාවක් ගත වී තිබිණ.

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්