(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)
තම කුඩා මුණුපුරා බැලීමට නගරාසන්න ප්‍රදේශයකට පැමිණ අතීත කතා කීමට ගිය සීයා මුණුපුරා දුන් පිළිතුරෙන් අන්දමන්ද වීමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.

ගමේ පදිංචි මෙම සීයා නගරාසන්න ප්‍රදේශයක වෙසෙන තම දියණියගේ කුඩා මුණුපුරා බැලීමට යන්නේ කලකට පසුවය.
හතර පංතියේ ඉගෙනුම ලබන මුණුපුරා තම සීයා එනතුරු මග බලාගෙන සිටියේ සීයා ගෙන එන ගමේ කෑම සහ පලතුරුවල රස බැලීමේ අටියෙනි. මුණුපුරා සිතූ සේම සීයාද ගමේ දෑ ලොකු මල්ලක් බැඳගෙන ආවේය. ඉන් මහත් සතුටට පත් මුණුපුරාද සීයා ළඟටම වී ගෙනා දෑ රස විඳිමින් විවිධ කතා කියමින් සිටියේය.
වරින් වර මුණුපුරාගේ මවද ඔවුන් ගේ කතාවට හවුල් වන්නේ ඉවුම් පිහුම් කටයුතුවලද නිරත වන අතරතුර දීය. පියාගේ පැමිණීම ඇයටද මහත් සතුටක් ගෙන දුන්නාය. වර්තමාන ආර්ථිකය හමුවේ තම පවුල මුහුණ දෙන තත්ත්වයන්ද දියණිය තම පියා සමග කියමින් සිටියාය.
‘‘අනේ තාත්තේ... ෙමහේ ජීවත්වෙන්න හරි අමාරුයි. හැම දේම ගිනි ගණන්. මොනවා කරන්නද කොච්චර සල්ලි ගත්තත් වෙන දෙයක් නෑ, මාසේ අන්තිමට අතේ සතේ නෑ.’’ දියණිය තම පියාට ආර්ථිකය පිළිබඳව එසේ කියද්දී පියාද මෙසේ පිළිතුරු දුන්නේය.
‘‘දුවේ උඹලා දන්නේ නෑ. ඒ කාලේ අපි රුපියල් 100ක් අරගෙන ටවුමට ගියාම ගෙදරටම ඇතිවෙන්න බඩු මල්ලක් අරගෙන තමයි එන්නේ.’’
සීයාගේ එම කතාව අසා සිටි කුඩා මුණුපුරා කට කොනකින් සිනා සී මෙසේ කීවේලු.
‘‘අනේ සීයේ.. ඒ කාලේ එහෙම කළාට දැන් ඒ සෙල්ලම් බෑ... දැන් හැම කඩේකම සී.සී.ටී.වී කැමරා තියෙනවා.
එහෙම ඇති තරම් බඩු ගෙනාවොත් කෙළින්ම පොලිස් මාමලා ඇවිත් අල්ලාගෙන යයි’’
සී.සී.ටී.වී. කැමරා යනු මොනවාදැයි නොදත් සීයා අන්දමන්ද වී බලා සිටියේලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd