කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



අමාරුවේ වැටෙන්න ගිය සේවකයා බේරාගත් ආපනශාලා හිමියකු පිළිබඳව අපූරු පුවතක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ.
ආයතනයක තේ පැන් පානය සඳහා ගෙන ගිය බිත්තර පාන් ගෙඩියකින් රුපියල් විස්සක් ගසන බවට සේවකයකුට චෝදනා එල්ලවිය. එම ආපනශාලාවේ බිත්තර පාන් ගෙඩියක මිල රුපියල් අසූවකි. මේ ආයතනයේ තේ බීම සඳහා එම ආපනශාලාවෙන් ගෙන යන බිත්තර පාන් ගෙඩියක මිල රුපියල් සියයකි. බිත්තර පාන් ගෙන එන සේවකයා එකකින් රුපියල් විස්සක් සොරකම් කරන බවට රාවයක් පැතිර ගියේය. ආයතනයේ ප්‍රධානීන්ටද මෙය කනට වැටිණ. ඒ අනුව සොයා බැලීමට කණ්ඩායමක් පත් කෙරිණ.


එම කණ්ඩායම මේ ආපනශාලාවට ගියේය. තමන් කවුදැයි නොකී එම කණ්ඩායමේ අය බිත්තර පාන් ගෙන්වා තේ එකක්ද බිව්වේය. බිත්තර පාන් ගෙඩියේ මිල රුපියල් අසූවකි. පරීක්ෂණ කණ්ඩායම පරීක්ෂණය ආරම්භ කළේ එතැනින්ය.
 රුපියල් අසූවක් වටිනා බිත්තර පාන් එකක් අසවල් ආයතනයට රුපියල් සියයට දෙන්නේ ඇයිදැයි පරීක්ෂකයෝ ආපනශාලා හිමියාගෙන් ඇසූහ. ඊට අදාළ බිලක්ද පෙන්වමිනි. අයියෝ මහත්තයෝ ඔහේලාට දෙන බිත්තර පාන් එකට දාන්නේ බිත්තරයක් අටට කපලා ඉන් කෑලි දෙකක්. ඔය ආයතනයට දෙන බිත්තර පාන් ගෙඩියට දාන්නේ අපි බිත්තරයක් හතරට කපලා කෑලි දෙකක්. ඔබතුමාලා මේ ආවේ මෙහෙන් බිත්තර පාන් ගෙනියන සේවකයා අමාරුවේ දාන්නනේ යයි ආපනශාලා හිමියා කියත්ම පරීක්ෂණ කණ්ඩායම එම ආපනශාලාවෙන් එළියට ආවේ ලිස්සාලු‍.