බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ
මෙය බලංගොඩ නගරයට නොදුරු ප්‍රදේශයක සිදුවු අපුරු සිදුවීමකී.
තරුණ වයස ඉක්මවූ ඔහු විවාහකයෙකි. දරුවෝ තිදෙනෙක්ද සිටිති. විවිධ රැකියා කරමින් මුදල් ටිකක් ඉතිරි කරගත්තේ තමන්ට කියා ස්ථිර නිවසක් තනා ගැනීමටය.
එලෙස ඉතිරි කරගත් මුදල්වලින් කොටසක් නගරයේ සිමෙන්ති බ්ලොක් නිෂ්පාදනය කරන ආයතනයකට දුන්නේ තව මාස කිහිපයකින් නිවස ඉදිකරන කොට අවශ්‍ය බ්ලොක් ගල් රැගෙන යන බව පවසමිනි.
මුදලාලිද කියා සිටියේ අවුරුද්දකින් රැගෙන ගියත් අද මුදලටම සිමෙන්ති ගල් ලබා දෙන බවයි.
‘‘ඒකනෙ මුදලාලි මම මේ විශ්වාස කෙනකුට සල්ලි දෙන්නෙ’’ ඔහු කීවේය.
වසරකට ආසන්න කාලයක් ගතවිය. දැන් නිවස ඉදිකරන්න සියලු කටයුතු සුදානම්ය. ඔහු ලොරි රථයක් රැගෙන සිමෙන්ති ගල් නිෂ්පාදනය ආයතනයට පැමිණියේය.
‘‘ආ මල්ලි කොහොමද ...?’’ මුදලාලි විමසුවේය.
‘‘මුදලාලි සිමෙන්ති ගල් ටික ගෙනියන්න ආවේ....’’ කියමින් ඔහු බිල ඉදිරිපත් කළේය.
මුදලාලි බිල්පත ගෙන ටිකක් කල්පනා කළේය.
‘‘මේකනෙ මල්ලි වැඩේ... එදා තිබුණු ගානට වඩා දැන් සිමෙන්ති ගණන්. ඒ නිසා අද තියෙන මිලට තමයි දෙන්න වෙන්නේ....’’ මුදලාලි ඇඟට පතට නොදැනි කීවේය.
‘‘අනේ මුදලාලි එහෙම කරන්න එපා. මුදලාලි එදා කීවේ එදා මිලටම දෙනවා කියලනෙ’’ ඔහු බැගෑපත් විය.
‘‘බැහැ බැහැ.... කොහොමටත් එදා මිලට නම් දෙන්න බැහැ’’ මුදලාලි ටිකක් සැරෙන් කීවේය.
‘‘එහෙනම් මුදලාලි මගේ සල්ලි ආපසු දෙන්න’’. එසේ කියන විට ඔහුගේ දෙනෙතින් කඳුළු ගලා ගියේය. ‘‘මම කොච්චර මහන්සි වෙලාද සල්ලි හෙව්වේ. ඒ සල්ලිවලින් මුදලාලි කීයක් හොයන්න ඇතිද....?’’ ඔහු එසේ කියමින් හිස් ලොරි රථයේ නැගී පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd