පෝද්දල සරත් ආනන්ද ගමගේ



මදුරු කරදරයෙන් බේරීම සඳහා මිතුරකුගේ උපදෙස් පරිදි මදුරු නාශකයක් තැනූ පුද්ගලයකු එය ක්‍රියාත්මක කිරීමට ගොස් සිදුවූ අලකලංචියක් ගැන අපූරු කතාවක් දකුණේ ප්‍රසිද්ධ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මේ ප්‍රදේශය මදුරු රජදහනකි. පොළවට බිම් කරුවල වැටෙන විටම නිදිගැට හැර කළඑළි බසින මදුරුවන් නිසා මෙම ප්‍රදේශවල ජනයා සිටියේ දැඩි පීඩාවට පත්වෙමිනි. 
විශ්‍රාමිකයකු වන අපේ කතානායකයාද සිය බිරිය සමග මෙම ප්‍රදේශයේ වාසය කළ අතර ඔවුන්ගේ දරු දෙදෙනා විවාහ වී අගනගරයේ පදිංචි වී සිටියහ. මිල මුදල් ගේ දොර යාන වාහනවලින් කිසි අඩුපාඩුවක් නොවූ ඔවුන්ට තිබුණු එකම ගැටලු‍ව වූයේ මේ මදුරු උවදුරයි. නින්දට ඇඳට ගිය විටදී මදුරු දැලෙන් ආරක්ෂා විය හැකි වුවත් ඊට පෙර රූපවාහිනී නරඹන හා කෑම කන කාලය ගෙවා ගැනීම ඔවුන්ට දැඩි ගැටලු‍වක් වී තිබුණි.


දිනක් මිතුරන් පිරිසක් සමග සුහද සාදයක යෙදී සිටියදී මෙම තැනැත්තා ඔවුන් සමග මේ මදුරු වසංගතය පිළිබඳ සාකච්ඡා කළේය. එහිදී එක් මිතුරකු පැවසුවේ මදුරුවන් සංහාරය කිරීම හැර ඊට වෙනත් විසඳුමක් නොමැති බවයි. ලේ උරාබොන්නේ ගැහැනු මදුරුවා නිසා ඌ තලාදැමීමත් යම් පිළියමකැයි කී ඔහු නිවසට ඇතුළුවී සිටින සියලු‍ මදුරුවන් සංහාරය කිරීම කළයුතු හොඳම පිළියම බව කීය. 
ඔහු ඒ සඳහා පැරැන්නෝ භාවිත කළ මදුරු නාශකයක් ගැනද කීවේය. ප්ලාස්ටික් පිඟානක හොඳට පොල් තෙල් ගල්වා පියාඹන මදුරුවන්ට පහරදීමෙන් උන් එහි ඇලී විනාශවෙන බව ඔහු පෙන්වා දුන්නේය.
එය හොඳ පිළියමක් වියහැකි බව විශ්වාස කළ අපේ කතානායකයා පසුදින හැන්දෑවේම ප්ලාස්ටික් පිඟානක පොල්තෙල් උලාගෙන ගේමට බැස්සේය. එදින ඔහු දිනපතා නරඹන ටෙලි නාට්‍යයද අතහැර නිවසේ පියාඹන මදුරුවන් හඹාගෙන ගොස් ප්ලාස්ටික් පිඟානට ගොදුරු කර ගත්තේය. පැය භාගයක් පමණ යනවිට පිඟානේ මදුරුවන් විශාල ප්‍රමාණයක් ඇලීසිටි අතර එහි තෙල් තට්ටුවද වාෂ්පවී තිබුණි. නැවතත් තෙල් තට්ටුවක් ආලේප කරගෙන එදින නින්දට යනතුරුම ඔහු මදුරුවන් සංහාරය ක්‍රියාත්මක කළ අතර එය හොඳ පිළියමක් බවද ඔහු විශ්වාස කළේය.
පසුදා උදෑසන ඔහුට වෙනදාට වඩා කලින් ඇහැරෙන්නට සිදුවූයේ බිරිඳගේ ආඩපාලි මැද්දේය. ”‍නැගිටල බලනව මනුස්සයො. මේ බිත්තිවලයි, දොර රෙදිවලයි, ඇඳුම්වලයි හැම එකේම පොල් තෙල්”‍ කියමින් ඈ බෙරිහන් දෙනවිට දඩබඩගා නැගිට සාලයට විත් බලනවිට ඔහුට තරු පෙනුනේය. පොල් තෙල් සහිත පිඟාන දෙපසට වනන විටදී එහි ගල්වා තිබුණු තෙල් බිත්තිවල හා දොර රෙදිවලට වැදී ඇත. රාත්‍රී කාලයේ එය නොපෙනුනද දැන් එය පැහැදිලිව දිස් වෙමින් තිබුණේය.
 ”‍ඔය බිත්ති නම් තෙත රෙදි කෑල්ලකින් පිහිදාන්න පුළුවන්. ඒත් මේ දොර රෙදි හෝදන්නම වෙනවා. අනේ මටනම් බෑ ඕවත් එක්ක ඔට්ටු වෙන්න. කරුණාකරල දොර රෙදිටික සෝදල දාන්න”‍ යැයි කියමින් බිරිය ඒ වැඩේ ඔහුට බාර කළේය.
එදින සියලු‍ වැඩ නවතා එතැන් පටන් එකින් එක ගලවාගෙන දොර රෙදි සේදීමට ඔහුට සිදුවිය. ‘‘ඩෙංගු මදුරුවෙක් කාල මැරුණ නම් මීට වැඩිය හොඳයි”‍ කියමින් එදින වරුවේම ඔහු ගෙදර දොර රෙදි සේදුවාලු‍ !