පෝද්දල සරත් ආනන්ද ගමගේ



මත්පැනට ගිජුවූ පුද්ගලයින් ගැන අපි කොතෙකුත් අසා තිබුණ ද කටගැස්මට ලොල් වූ තැනැත්තන් ගැන ද අහම්බෙන් තොරතුරු වාර්තා වන අතර මේ එවැනි අයකුට සිදුවූ අකරතැබ්බයක් ගැන දකුණු පළාතේ සුන්දර ගම්මානයකින් අසන්නට ලැබුණු පුවතකි.
මේ තැනැත්තා සැබෑවටම මතට තිත තැබූ අයෙකි. ඔහුගේ සියලු‍ මිතුරන් මත්ලෝලීන් වුවද ඔවුන් සමඟ කොතෙක් කාලය ගත කළද හේ කිසිදා මත්පැන් කටේ තියා නැත. ඔහු ඒ ගැන කියන්නේ මහත් ආඩම්බරයෙනි. මත්පැන් නොබිව්වද ඒ සමගම ඇති ඒවා තනුක කරගැනීමට කලවම් කරන බීම වර්ග හා කටගැස්මට එක්කර ගන්නා කෑම වර්ග අනුභවයට හෙතෙම රුසියෙකි. ඔහුගේ මේ බයිට් කෑමේ පෙරේතකම නිසා මිතුරන්ට ඔවුන්ගේ බෝතල් හිස්කර ගැනීමට නොහැකිව අසරණ වූ අවස්ථා ද නැතුවා නොවේ. මේ හේතුව නිසාම ඔහුට “බයිට් කන්නා”‍ යැයි නමක් ද පටබැඳී ඇත.


පසුගිය දිනක ඔහුගේ මිතුරන් පිරිසක් සුපුරුදු පරිදි වසර අවසාන සාදය සඳහා එක් මිතුරකුගේ නිවසකට එකතුවී ඇත. බයිට් කන්නා ඌරු මස් නොකන නිසා සංවිධායකයෝ ඌරු මස් තෝරාගෙන ඇති අතර කුකුළු මස් හා කඩල යම් ප්‍රමාණයක් හා රට කජු මිශ්‍ර තවත් කටගැස්මක් ද සාදයට සූදානම් කළහ.
නියමිත වෙලාවේ සාදය ආරම්භ වී ඇති අතර බයිට් කන්නා ද ඒ අතර විය. ඔහු ලොකු සෝඩා වීදුරුවක් පුරවාගෙන කුකුළු මස් දීසියට හා කඩල පිඟානට වගකියා ඇත. ඒ පිඟන් දෙක අහවර වූ අතර දැන් තියෙන්නේ ඌරු මස් හා රටකජු මිශ්‍ර බැදුම් දීසියයි. ඌරු මස් නොකන ඔහු දැන් රටකජු මිශ්‍ර බැදුම් දීසියට වග කියයි. එහි ඇති බැදුම ද ඉතාමත් රසවත් ලෙස ඇති නිසා ඔහු එයද ආසාවෙන් ගිලදමන්නට පටන් ගත්තේ ය. “මේ මොනවද මචං ”‍ කියා මිතුරන්ගෙන් විමසුව ද මිතුරන් පවසා ඇත්තේ ”‍ මොනා වුණත් කමක් නෑ උඹ කාපන්”‍ කියා ය.
බෝතල් හා කටගැස්ම අවසානයේ සාදය ද නිමාවී ඇත. රටකජු මිශ්‍ර බැදුම සම්පූර්ණයෙන්ම අනුභව කර තිබුණේ මත්පැන් නොබොන්නා විසිනි. තමා කෑවේ මොනවා දැයි කියා ඔහු මිතුරන්ගෙන් දිගින් දිගටම විමසා ඇත. අවසානයේ ඔහුට පිළිතුර ලැබුණේ මෙසේය . “ඕක උඹ වෙනුවෙන්ම හැදූ බයිට් එකක්. කුකුළු හම බැදලා රටකජු එක්ක කළවම් කළා. කොහොමද කුකුළු හම් බයිට් එක”‍ කියා විමසන විට ඔහුට තරු පෙනුනාලු‍.