පෝද්දල - සරත් ආනන්ද ගමගේ
නිවසට පැමිණි තම සහෝදරයා හා ඔහුගේ මිතුරකුට සංග්‍රහ කිරීමට සැමියා පානය කර ඉතිරිව තිබූ විදේශීය මත් වතුර බෝතලයක් ලබා දී ජීවිතයේ කවදාවත් නොලැබූ අත්දැකීමක් විඳි කාන්තාවක් ගැන අපූරු පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මේ කාන්තාවගේ ස්වාමිපුරුෂයා පෞද්ගලික සමාගමක රැකියාවක නියුතුව සිට විශ්‍රාම ලැබුවේ පසුගිය වසරේ මුල් කාර්තුවේය. විශ්‍රාම ලැබූ දිනයේ ඔහුට බොහෝ තෑගි බෝග ද ලැබී තිබුණි. ඒ අතර විදේශීය රටක නිෂ්පාදිත මත් වතුර බෝතලයක් ද විය.
පසුගිය සිංහල අවුරුදු සමයේ මෙම තැනැත්තා “අවුරුද්දටත් නොබොන අරක්කු මොකටදැයි” කියමින් අර විදේශීය මත්පැන් බෝතලය විවර කළේය. නිවසේ මුළුතැන්ගෙයි පැන්ට්‍රිය අසල බෝතලය තියාගෙන ඔහු ඉන් ටික ටික පානය කරමින් සිටියේය. මේ අතරතුරදී ඔහුට මිතුරකුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු බැවින් එයට පිළිතුරු දුන්නේ මිදුලට බැස සක්මන් කරමිනි.
පැය භාගයකටත් වැඩි කාලයක් විහිදී ගිය කතාබහ අවසන් කර නැවත කුස්සියට යන විටදී බෝතලය අතුරුදන්ව තිබුණි. ඒ පිළිබඳව විමසීමේදී බිරිඳ පිළිතුරු දෙමින් කියා සිටියේ “දැන් බිව්වා ඇති. කාලා බුදියගන්නවා” කියාය. ඔහුත් ඈ සමග අරියාදුවට නොගිහින් කාලා බුදිය ගත්තේය.
ඉන්පසු අවස්ථා කිහිපයකදීම ඔහු ඇගෙන් එම බෝතලය ඉල්ලා සිටියද ලබා ගැනීමට නොහැකි විය. ඇයට පෙරැත්ත කරමින් එය ලබා ගැනීමට හැකියාව තිබුණද ඔහු ද එය අමතක කර දැමීය.
මේ අතර අගනුවර ප්‍රදේශයේ වෙසෙන ගෙහිමි කාන්තාවගේ සහෝදරයා ඇතුළු පවුලේ අය කතරගම වන්දනාවේ යන බවත් එමින් ගමන ඇගේ නිවසට ද එන බවත් දැනුම් දුන්නේය. අවාසනාවකට එදින ඇගේ ස්වාමිපුරුෂයාට නිවසේ රැඳී සිටීමට නොහැකි කාරණාවක් යෙදී තිබුණේය. රැකියාව කළ සමයේ ආයතනය වෙනුවෙන් පෙනී සිටිය යුතු නඩු කටයුත්තක් ඔහුට පැවරී තිබුණු අතර ඒ සඳහා විශේෂ ගෙවීමක් ද ලැබෙන නිසා අනිවාර්යයෙන්ම යා යුතු ගමනක්ම විය.
අලුත් අවුරුද්දේ දෙවැනි දින දහවල් කාලයේ කියූ පරිදිම ගෙහිමි කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා ඇතුළු පිරිස එම නිවසට පැමිණියහ. මේ පිරිස අතර ඈ කුඩා කාලයේ සිටම දන්නා සහෝදරයාගේ මිතුරකු ද සිටි අතර ඔහු මත්පැනට ගිජු තැනැත්තකු ලෙස ද ප්‍රසිද්ධය. මොවුන්ට හොඳට සංග්‍රහ කරන්නට සිතූ ඇය අර සඟවා තැබූ ටිකක් හිස් කර ඇති විදේශීය මත්පැන් බෝතලය ගැන අයියාගේ කනට කර කීවේය. මහත් ප්‍රීතියට පත් ඔහු ඒ ගැන මිතුරාට ද කියා ඉතුරු කළමනා සෙට් කරගත්තේ එය පානය කිරීමටය.
නැගණියගේ දෝතින් ලද තුටු පඬුර බහා තිබුණේ කළු පාට ඝනකම කාඩ්බෝඩ් පෙට්ටියකය. අයියා එය ඉවතට ගත්තේය. මස්සිනා කාලකට වගකියා ඇති බැවින් එහි තිබුණේ බෝතල් තුන් කාලක පමණ ප්රමාණයකි. සහෝදරයා මිතුරා සමග
“චියර්ස්” කියමින් පළවෙනි ෂොට් එක උගුරට හලා ගත්තේය. දෙදෙනාගෙම කටවල් බෙරි වී ගියේය. එහි තිබී ඇත්තේ මත් වතුර නොව පල් වතුරකි.
ගෙහිමියා බිරිඳට හොරා බෝතලය සොයාගෙන එය හිස් කර එයට කහට පුරවා තිබී ඇත. පසුව අමුත්තන්ට දේශීය පානයකින් සංග්‍රහයකට අවශ්‍ය මුදල් ලබා දෙමින් ඇය සායම බේරාගෙන ඇත. මිනිහා මට්ටු කරන්න ගිහින් තමාගෙ නංගී මට්ටු වූ මේ පුවත අයියා විසින් නෑ සනුහරේටම දැනුම් දෙනවාලු!
COMMENTS