(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ ලොතරැයි වෙළෙන්දකුගේ ගෙවත්තක හොර රහසේ මැංගුස් කැඩීමට ගිය හොරකු නිවෙස් හිමියා දැක දිව යද්දී වැටුණු මුදල් පසුම්බිය පොලීසියට ගෙන්වා බාර දීමේ පුවතක් යක්කල පොලිසියෙන් වාර්තා වෙයි.
ගෙවතු හිමියා නොමැති අවස්ථාවල ගෙවත්තෙහි මැංගුස් ගසෙන් ගෙඩි කඩන බව දැන ගැනීමෙන් පසුව විමසිලිමත්ව සිටිය දී පසුගිය දිනෙක යමකු මැංගුස් ගෙඩි කඩනු දැක එතැනට දිව යන විට ගසෙහි සිටි තැනැත්තා පැනගොස් ඇත.
ගස යට වැටී තිබූ මැංගුස් අහුලා ගනිමින් සිටි ගෙවතු හිමියාට ඒ අසල තිබී මුදල් පසුම්බියක් හමුව ඇති අතර එය පරීක්ෂා කිරීමේ දී රුපියල් විසිපන් දහසක් මුදලක් තිබෙනු දැක එය රැගෙන ගොස් යක්කල පොලිස් ස්ථානාධිපතිවරයාට බාර දී විස්තරය පවසා ඇත.
යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිතාර කරුණාරත්න මහතා පවසා සිටියේ, ගෙවත්ත හිමිකරු බාරදුන් මුදල් පසුම්බිය පරීක්ෂා කොට එහි තිබූ තොරතුරක් අනුව පසුම්බිය හිමිකරු පොලීසියට කැඳවා, හොරෙන් මැංගුස් කැඩීමේ වරද පෙන්වා දැඩි ලෙස අවවාද කොට මුදල් පසුම්බිය ආපසු ලබාදීමට පියවර ගත් බවය.
මෙහි දී ස්ථානාධිපතිවරයා පවසා සිටියේ, රුපියල් 25,000 ක් සහිත මුදල් පසුම්බිය ගෙනැවිත් බාරදීම සිදු කළ තැනැත්තා පාපැදියකින් යමින් ලොතරැයි පත් අලෙවි කරමින් ඉතා අහිංසක ලෙස ජීවිකාව ගෙන යන අයෙකු වන බවත් ඔහුගේ අවංකත්වය අද සමාජයේ ඇතැමුන්ට ආදර්ශයක් වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරුට දඬුවම් දීම වෙනම කාරණයක්, අන්සතු දේ නොගැනීම තවත් කාරණයක්. මෙවැනි අවංක මිනිසුන් 1% වත් සිටී නම් මේ රට දියුණු වෙනවා. ඔහු සැහැල්ලුවෙන් ජීවත් වන යහපත් පුරවැසියෙකු විය යුතුය. යහපතක්ම වේවා! බොහෝ විට වැරිදි කරු නැවත එවැනි වැරදි කරන විට දෙවරක් සිතයි, සමහරවිට වලකින්නට ද සිතේ. මෙවැනි පුවත් සමාජගත කිරීම, චරිත ඇගයීම අන් අයව එවැනි යහපත්ක් ක්‍රියාවන්ට උනන්දු කිරීමක්.