මෙම නිවැසියන්ගේ ජීවනෝපාය වූයේ කුකුළු පාලනයයි. කුකුළු කුඩු නිවස පිටුපස ඉඳිකර තිබෙන හෙයින් කුඩු කර ඇති කුකුලන්ගේ හඬත් අවට කුරුල්ලන්ගේ හඬත් මෙම නිවසේ අයට දැනුනේ මහත් සතුටකි.
කුඩා දිය කඩිති සහිත මෙම ජලජ කලාපයේ තැන තැන ජලජ ශාක එහෙ මෙහෙ විසිරි තිබීම ගැන නිවැසියෝ විපරම් කර බලන්නට වූහ.
මෙසේ එක් දිනක් ගෙහිමියා රාත්‍රී රැක්මේ සිටින ජලාශය පිහිටි පැත්තේ සිට කිසියම් දෙයක් තම නිවසට දෙසට ගමන් කරන අයුරු දුටු නිවැසියා තරමක් බිය වන්නට විය. හිතාගන්න බැරි විදියට එදින එම සිද්ධිය අතුරුදන්ව ගියේය.
කුකුළු කූඩුවේ කුකුළන් හඩ ලෑම රාත්‍රී කාලයේ කිහිප දිනක් සිදුවීම නිසා නිවැසියා තවදුරටත් විපරම් කරන්නට විය.
නිවැසියා රැක්මේ සිටින දිනවල කිසිම සිද්ධියක් සිදු නොවන හෙයින් මෙය නිවැසියාට මහත් කුතුහලයක් විය. කිසියම් භූත සිද්ධියක් නිවසට බලපෑම් එල්ල වී ඇති බව නිවැසියන් කතා බහ කරගන්නට විය. මේ සඳහා ප්‍රදේශයේ දන්නා කියන ඇඳුරකු ගෙන්වා සිද්ධිය පවසා ඇත. ඇඳුරා නිවසේ පිහිටීම ගැන සොයා බලා කිසියම් භූත බලවේගයක් ඇත්දැයි සොයා බැලීමට දිනයක් නියම කර ගත්තේය.
එදින නිවසට අහල පහළ දෙතුන් දෙනකු ද පැමිණ ආවතේව කම් කරමින් නිවසේ ඇති භූත දෝෂය සොයන්නට විය. ඒ අතර කුකුළු කූඩුව දෙසින් කුකුළන් හඬ ලෑම සිදුවූ හෙයින් භූත බලවේගය ප්‍රාණයක් අපේක්ෂාවෙන් සිටින බව ඇඳුරා පවසා නොකඩවා මන්ත්‍ර ජප කරන්නට විය.
මේ අතර උදව්වට පැමිණ සිටි අසල්වාසි තරුණ අයකු කාටත් හොරෙන් කුකුළු කුඩුව දෙසට ගොස් විපරම් කර බලන්නට විය. අත තිබූ විදුලි පන්දම දැල් වූ මෙම තරුණයට නීල කාන්ත මැණික් කැට දෙකක් දිස්වන්නට විය. තරුණයා මේ ගැන කාටවත් නොකියා නාග මාණික්කයක් යැයි සිතා කුකුළු කූඩුව අසලටම ළංවන්නට විය.
එක්වරම ගසා දමන ශබ්දයක් සමඟ කුකුළන්ගේ මහත් හඬක් ඇති වූ හෙයින් තරුණයා බියට පත්වී නිවස දෙසට දිව යන්නට විය. තමා පසුපස කිසිවකු එනු දැණුනු තරුණයා නිවස තුළටම ගොස් ඇඳුරා ළඟ වැටී භූතයා කුකුළු කූඩුවේ ඉන්නවා යැයි කීය.
ඇඳුරා සමඟ නිවැසියන් එළියට පැමිණෙන විට අඩි දහයක් පමණ දිග යෝධ කිඹුලෙක් නිවස ඉදිරිපිටට පැමිණ සිටිනවා දුටු ඇඳුරාට දෙලොව සිහිවිය. දෙවරක් කට ඇරිය කිඹුලා වලිගය කිහිප වතාවක් එහාට මෙහාට කර දැඟලීම එතරම් සුබදායක නොවන හෙයින් ඇඳුරා නිවසින් පැන දිව යන්නට විය. අහල පහළ පැමිණ සිටි අයත් එහෙන් මෙහෙන් මාරු වී ගියහ. නිවසේ ගෙහිමියා සමග තනි වූ බිරිඳ හා දියණිය මිදුලේ සිටි කිඹුලා දෙස බලා අනේ කිඹුලෝ කිඹුල් කඳුළු සලන්නේ නැතිව කූඩුවට ගිහින් තව ඕන තරම් කුකුළු බිලි ගන්නැයි බැගෑපත්වන්ට වූහ. නිසොල්මනේ සිටි කිඹුලා නිවසින් පිටව ගොස් ඇත. පසුවදා උදේ සිද්ධිය ගමපුරා ආරංචි වූ පසු මෙම යෝධ කිඹුලා අල්ලා ගැනීමට වනජීවී මහත්වරුන්ගේ සහාය පතන්නට විය.
අම්බලන්තොට සනත් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd