රාජකාරි වේලාව තුළදී එම  කටයුතුවලට වඩා  තම නිවසෙහි වැඩ කටයුතුවලට මුල්තැන දෙමින් කටයුතු කළ පුද්ගලයකුට මුහුණපාන්නට සිදු වූ අපූරු පුවතකි.
මාතර දිසාවේ උපනගරයක ජීවත් වූ ඔහු ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස රාජකාරි කටයුතුවල නියළී සිටියේ තම නිවසට නුදුරින් පිහිටි ප්‍රධාන ආයතනයක් මුල් කර ගනිමිනි. තමාගේ සහ නිවසේ කටයුතුවලට මුල් තැන දෙමින් කටයුතු කළ ඔහු රාජකාරි කටයුතුවල නියැලු‍නේ තමාට ඉඩ හසර තිබෙන වේලාවන් වලදීය. එහෙත් ආයතන ප්‍රධානියා විමසන සෑම අවස්ථාවකම ඔහු පවසන්නේ තමා ක්ෂේත්‍රයේ වැඩ කටයුතුවල යෙදී සිටින බවයි.
පසුගිය දිනෙක තම ආයතන ප්‍රධානියා විසින්  සියලු  දෙනා කාර්යාලයට කැඳවා තිබුණේ තම තමන්ගේ කොට්ඨාසවල ප්‍රගතිය විමසා බැලීම සඳහායි. මේ සඳහා අදාළ පුද්ගලයා දැනුවත් කළද ඔහු ඒ ගැන කිසිම තැකීමක් නොකළේ තම රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු නොකර තිබූ බැවිනි. මෙම පුද්ගලයාට අදාළ කොටසේ ප්‍රගතිය විමසා බැලීමේදී මොහු නොපැමිණි බව දැනගත්  ආයතන ප්‍රධානී ඔහුට දුරකථන ඇමතුමක් ගනු ලැබුවද එයට පිළිතුරු ලැබුණේ ඔහුගේ බිරිඳගෙනි. ‘‘අනේ එයාට උණ හැදිල නිදි”‍. යනුවෙන් පැවසුවේ තම සැමියා කලියෙන්ම ඒ බව කියා තිබූ නිසාවෙනි. 


ආයතන ප්‍රධානියා මොහුගේ ක්‍රියා කලාපය දීර්ඝ කාලයක සිට අධ්‍යයනය කර තිබූ බැවින් මොහු ගැන සොයා බැලීමට කිසිවකුටත් නොකියා ඔහුගේ නිවස කරා ගියේ රියදුරුගේ සහාය ඇතිවය. එම නිවසට යන විට කුඩා දරුවන් දෙදෙනකු මිදුලේ සෙල්ලම් කරමින් සිටි අතර පියා කොහිදැයි විමසූ විට අන්න අර අර ගහ මුදුනේ ඉන්නේ කියා අත දිගුකර පෙන්වීය. විමසිල්ලෙන් එදෙස බැලූ ප්‍රධානියාට දැකගත හැකි වූයේ ඉතා උස ගසක වැඩී තිබූ ගම්මිරිස් වැලක ගම්මිරිස් කරල් කඩමින් සිටි තම නිලධාරියා තමාගෙන් වහන් වීමට වෙර දරන බවයි. ”‍අනේ අනේ නියම උණක් තමයි හැදිල තියෙන්නෙ. ඔහොමද රාජකාරි කරන්නෙ, කරුණාකරල දැන් ගහෙන් බැහැල ඉක්මනින්ම  කාර්යාලයට යනවා”‍.
තමා සිහිනෙන්වත් නොසිතූ දෙයක් සිදු වූයෙන් ඔහුට කරකියාගත හැකි දෙයක් නොවුනි. සියොලඟ දහදියෙන් තෙත් වූ ඔහුට දෙවියන් ද සිහි වූයේ කාර්යාලයට ගොස් ආයතන ප්‍රධානියා ඇතුළු අන් නිලධාරීන්ට මුහුණ දෙන්නේ කෙසේදැයි සිහියට නැගීමෙනි.

 

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්