අල්ලපු ගෙදර වල් බල්ලා තම ගෙමිදුලේ මළපහ කරමින් සිටිනු දැක කෝපයට පත් ගෙහිමියකු වහාම ක්‍රියාත්මක වී බල්ලා ඉලක්ක කර තම අත තිබූ වටිනා ජංගම දුරකතනයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් ‘‘නාගත්’’ බව කියන පුවතක් පසුගිය දා නවගත්තේගම ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
මෙම කතාවට අනුව තාප්ප වැට කඩොළු  කිසිවක් නැති අදාළ ගෙමිදුල ලස්සනට පිළිවෙළකට තියා ගැනීමට කාර්මිකයකු වූ තරුණ ගෙහිමියා මෙන්ම ඔහුගේ බිරිය නිරන්තරව මහත් වෙහෙසක් ගනියි.
එය කොතෙක්ද යත් ජලය හිඟ නියං කාලයේදීද දුර බැහැර ප්‍රදේශවලින් පවා ජලය රැගෙන විත් ගෙමිදුල අලංකාරව පවත්වාගෙන යාමට නිවැසියෝ කටයුතු කළහ.
විවිධ වර්ගයේ මල් වවා තණපිඩලි අල්ලා පිළිවෙළකට ලස්සනට නඩත්තු කරගෙන යන මෙම ගෙමිදුල දකින කොයි කාගේත්  සිතට ගෙන දෙන්නේ  මහත් ආශ්වාදයකි.


නමුත්  සෑම දිනකම පාහේ උදෑසන ගෙමිදුලේ තණ බිස්ස මත දමා ඇති බලු‍ අසූචි ගොඩක් ඇදීමෙන් දවසේ වැඩ ඇල්ලීමට සිදුවීමත් අසූචි ගොඩක් ඉවත් කරන වාරයක් පාසා අසූචි ගොඩත් සමග තණ බිස්සේ කොටසක් ද උදැල්ලෙන් කැපී යාමත් ගෙමිහියන්ට කාලයක සිට දරා ගත නොහැකි ගැටලු‍වක් වී තිබුණි.
ඒ අනුව පාන්දර යාමයේ ගෙමිදුලට විත් තම කාර්යය සිදුකර හිමින් සීරුවේ මාරුවෙන බල්ලා මොකාද ඌ කාගේද යන්න පිළිබඳව දැනගැනීමට දින කිහිපයක සිට ගෙහිමියා විමසිල්ලෙන් පසු වූයේය.
දිනක් ගෙහිමියාගේ විමසිල්ල සාර්ථක විය. අල්ලපු ගෙදර බල්ලා ගෙවත්තට ඇතුළුවන අයුරු කිසිවකුට  දුරකතන ඇමතුමක් ගනිමින් ගෙමිදුලේ ගල් බංකුවේ මත වාඩිවී සිටි ඔහු දුටුවේය. ගෙවත්තට ඇතුළු වූ බල්ලා කිසි ගානක් නැතිව මිදුලේ තණපිඩැල්ල මතට විත් පාඩුවේ තමන් ආ කාරිය කරන්නට අවශ්‍ය ඉරියව්වට හැරුණේය. මෙය එතෙක් වේලා ඉහිලු‍ම් නැතිව දැඩි කේන්තියෙන් ඒ ආසන්නයේ ගහකට මුවාවී බලා සිටි ගෙහිමියාට උන්හිටි තැන් මෙන්ම තම අතේ ඇති වටිනා ජංගම දුරකතනයත් ඇමතුමත් අමතක කරවන දසුනක් විය.
ඔහු දෙපාරක් නොසිතා එක්වරම අල්ලපු ගෙදර වැසියන්ට ද ඇසෙන පරිදි හොඳ වැයින් දෙකක් කියන ගමන්ම තම අත තිබූ දුරකතයෙන් බල්ලා ඉලක්ක කර ආවේගශීලී ප්‍රහාරයක් එල්ලකර ඇත්තේ මේ අවස්ථාවේදීය.
ඉල්ලකය වැරදිනි. බල්ලා වැඩේ කරමින්ම වේගයෙන් පලා ගියේය. දුරකතනයේ අසූචි තැවරිණි. මල්පෝච්චියක ද වැදී නැවතුණු එය ක්‍රියා විරහිත වී තිබිණි. එය දුටු ගෙහිමියාගේ කේන්තිය ඩබල් විය. බල්ලා ඇල්ලීම කෙසේ වෙතත් අල්ලපු ගෙදර ඉදිරිපිටට ගොස් ඔහු කේන්තිය පිටකර ගත්තේය.
කෙසේ වෙතත් යළිත් දවසක අල්ලපු ගෙදර බල්ලා අදාළ ගෙමිදුලට ආවා දැයි ආරංචියක් නැත. එහෙත් මෙහිදී ජංගම දුරකතනය යථා තත්වයට පත් කිරීමට ගෙහිමියාට බිරියගෙන්ද බැනුම් අසමින් බොහෝ දේ කිරීමට සිදුවූ බව නම් වැඩිදුරටත් කියැවිණි.

කරුවලගස්වැව 
ජයරත්න වික්‍රමාරච්චි