සුරතලයට ඇති කරන සුනඛ පෝතකයා ත්‍රීරෝද රථයේ නංවාගෙන ගොස් අලි අමාරුවක වැටුණු පවුලක් පිළිබඳව කතාවක් ඇසෙන්නේ ගාලු‍ දිසාවේ ගමකිනි.
ඉස්තරම්ම වර්ගයේ සුනඛයෙකි. නිවැසියෝ ඌට අසීමිතව ආදරය කළහ. ඒ නිසාම ඔවුහු යන සෑම තැනකම රැගෙන ගියහ. නිවැසියන්ට ඌ සුරතලයකු වුවත් පිට අයටනම් වසවර්ති මාරයෙකි. ඒ නිසාම නිවසේ මේ සුනඛයා සිටියේ යදම් දමාය. මේ නිවස්නයේ ප්‍රධානියා කුලී ත්‍රීරෝද රථ රියදුරෙකි. නිවැසියන් මේ සුනඛයා රැගෙන යනුයේ ත්‍රීරෝද රථයෙනි. කාලයක් යද්දී ඌට ත්‍රීරෝද රථයේ යාම හුරුවිය. පුරුදු විය.
ත්‍රිරෝද රථයේ පසුපස ආසනයම සුනඛයා අරක් ගත්තේය. බොහෝ වෙලාවට ඌ පසුපස ආසනයේ යන නිවැසියන්ගේ උකුල් උඩය. උගේ මුඛය ත්‍රීරෝද රථයේ  එක් පැත්ත මදක් පමණ එළියට සිටින සේය. ඌ ළඟින් යාහන වාහන ගියත් ඌට ගානක් නැති ගානය. මේ සුනඛයාට එයත් හොඳට හුරුය. පුරුදුය. තමා ළගින් වාහනයක් ගියත් ඒවාට පැනීමට තරම් මේ සුනඛයා මෝඩයකු නොවීය. ඊටත් වඩා පසුපස ආසනයේ ගිය නිවැසියෝ වාහනයකට පනින්න ඉඩක් ඌට නොදෙන සේ යදම් දා සිටියෝය.


එදාද මේ සුනඛ පෝතකයා නිවැසියන් සමග ත්‍රීරෝද රථයෙන් යමින් සිටියේය. පිටුපස ආසනයේය. මුඛය එදත් යම් තාක් දුරට එළියේය. ප්‍රධාන මාර්ගයේ යාමට හැකි වූයේ ටික දුරකි. එම මාර්ගයේ ඇති වූ රිය අනතුරක් හේතුවෙන් මාර්ගයේ තදබදයක් නිර්මාණය වූවේ කවුරුත් නොසිතූ පරිදිය. බල්ලා ගිය ත්‍රිරෝද රථය මද වේලාවක් නතර කර ගන්නට සිදුවිය. එම තීරෝද රථයේ පිටුපස ආසනයේ බල්ලා මුඛය තිබූ අන්තයේ යතුරු පැදිකරුවකු ඔහුගේ යතුරු පැදිය නතර කර තිබුණේය. බල්ලාගේ මුඛයත් යතුරු පැදිකරුත් ඉතා ළං ළංවය.
එක විටම යතුරු පැදිකරු බිම තබා තිබු පාදය සපා කෑවේය. යතුරු පැදිකරුගේ පාදය බල්ලාගේ මුඛයෙන් බේරා ගැනීමට පසුපස ආසනයේ ගිය නිවැසියන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. යතුරු පැදිකරුගේ පාදය බල්ලාගේ කටෙන් නිදහස් කර ගත්තේ ඔහුගේ පාදයේ මස් කොටසක් බල්ලාගේ කටට යාමෙන් අනතුරුවය.
අවසානයේ දී නිවැසියන්ට සිදු වූයේ යතුරු පැදිකරු ත්‍රීරෝද රථයේ නංවාගෙන ළඟම රෝහලට යාමටය. බල්ලා ත්‍රිරෝද රථයේ නංවාගෙන ගිය පුරුද්ද නිවැසියන් දැන් නතර කර දමා ඇත්තේ එදා බල්ලා ත්‍රීරෝද රථයෙන් රැගෙන යාමෙන් වූ අලකලංචියේ තරම ඔවුනට නිරාකරණය කර ගැනීමට ගිය කාලය, ශ්‍රමය හා ධනය මතකයට ඒමත් සමගමය. 

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත