පෝද්දල සරත් ආනන්ද ගමගේ
මුහුණු පොතේ දැක්වෙන නොම්මරයකට කතාකොට පොට්බිරියානි එකක් ගෙදරට ගෙන්වා ගත් පුද්ගලයකුට සිදුවූ අලකලංචියක් ගැන පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
හෙතෙම රජයේ සේවකයෙකි. බිරිය හා දරු දෙදෙනා සමග පවුලේ පිරිස හතර දෙනෙකි. මුහුණු පොත හා දැඩි සම්බන්ධයක් ඇති මොහුට එහි නිතර නිතර ප්‍රචාරය කරන හතර දෙනකුට ඇති පදම් කෑ හැකි පොට්බිරියානි එකක රස බැලීමේ ආශාවක් ඇති විය. ප්‍රදේශයේ ජනප්‍රිය කුස්සියකින් රුපියල් 2400කට ලබාදෙන එම බත් හට්ටිය නිවසටම ගෙන්වාගත හැකි බව ද එහි සඳහන් වේ.
ඔහුගේ සිතේ හටගත් අදහස නිවසේ අයට දැනුම් දුන්විට දරු දෙදෙනා එකපයින්ම එයට කැමැත්ත ප්‍රකාශ කළෝය.
එහෙත් බිරිය එම යෝජනාවට විරෝධය පළ කළාය. ඇය කියා සිටියේ බඩු ගෙනැත් දෙනවානම් තමාට ද එය සෑදිය හැකි බවත්, ඒ සඳහා ඔය මුදලින් අඩක්වත් නොයන බවය. දැඩි තීරණයක් ගෙන මෙම කෑම එක ගෙන්වා ගත්තොත් නැති ප්‍රශ්න ද ඇති විය හැකි බැවින් ඔහු අදහස තාවකාලිකව අතහැර දැමීය.
ඒ ආසන්නම දිනයක දියණියගේ උපන් දිනය යෙදී තිබුණු අතර එදින ද ඔහු මෙම යෝජනාව ගෙනාවේය.
දරු දෙදෙනාගේ බලවත් කැමැත්ත නිසා එදින බිරියගේ විරෝධයද යටපත් වී තිබුණි. ඉන් මහත් ප්‍රමෝදයට පත් ඔහු ඒ ජනප්‍රිය කුස්සියට ඇමතුමක් ලබාදී බිරියානි බත් හට්ටියක් රෑ කෑමට ඕඩර් කළේය. ඒ ආයතනයෙන් දැනුම් දුන් පරිදි මුදල් ගෙවීමද ඔන්ලයින් හරහා සිදුකළේය. කෑම එක රාත්‍රී අටට කලින් ලැබෙන බව දැනුම් දුන්නේය.
රෑ අටට කලින් ලබාදෙන පොරොන්දුව ඉටුකරමින් සවස හතර වනවිටම බත් හට්ටිය නිවසට ගෙනාවේය. එය රැගෙන පැමිණි තරුණයාට “කෑම සීතල වෙලානේද?” කියා පැවසීමේදී “ඔව්. රත් කරගෙන කන්න” යැයි කියමින් ඔහු පිටව ගියේය. “රත්කරගෙන කන්න එයා කියන්න ඕනද” යි අසමින් ඔහුගේ බිරිඳ සිය අප්‍රසාදය පළ කළාය.
රාත්‍රී අටට පමණ ඔවුහු කෑම ගැනීමට සූදානම් වී බත් හට්ටිය වසා තිබූ කෙසෙල් කොළය ඉවත් කළහ. එහි තිබුණේ කහබත් සමග මස් කෑලි තුනක් පමණි. ඒවාද නියමිත ප්‍රමාණයට කර වී තිබුණේද නැත. තම්බා බදින ලද බිත්තර දෙකක්ද එහි තිබුණි. ඉටිකවරයක දැමූ ලූනු කෑලි මිශ්‍ර හොදි පාර්සලයක් ද විය. “ඕක රත්කරන්න බොරුවට ගෑස් ඉවර කරන්න ඕන නෑ. තුන්දෙනා එක්ක කන එකයි තියෙන්නෙ” කියමින් බිරිඳ කෑම මේසයෙන් නැගිට ගියේ ඇගේ අමනාපය ප්‍රකාශ කරමිනි.
දරුවෝ දෙදෙනා මස් කෑලි දෙකක් සමග කහබත් ටිකක් කෑවෝය. අඩුම වශයෙන් එහි මින්චි කොළයක්වත් නොවීය. මහත් ආශාවෙන් බලාපොරොත්තුවෙන් කෑම එක ගෙන්වාගත් පුද්ගලයාට ද එය කෑමට ප්‍රිය නොවීය. “අම්ම හදන එළවළු බත් මීට වඩා කොච්චර රස දැයි” කියමින් දරු දෙදෙනා කෑම ගැනීම නතර කළහ. නැවත පැමිණි බිරිඳ “මම නම් ඔය ජරාව කටේ තියන්නෙ නෑ. කැඳ ටිකක් හදාගෙන බොනවා” යැයි කියමින් කුස්සියට ගියාය.
පසුව බිරිඳ කැඳ හැදූ අතර දරුවෝ දෙදෙනා ද ඒවා බී නින්දට ගියෝය. මුදල් ගෙවා “බිරියානි හට්ටිය” ගෙන්වාගත් ඔහුටම ඉතුරු කොටස වීසිකර හට්ටිය සේදීමට සිදුවිය. තාත්තගෙ පිස්සු වැඩ නිසා උපන් දිනේ දවසෙත් දරුවට කැඳ බොන්න වුණා. දැන් ඉතිං “රුපියල් 2400 කට හට්ටියක් ගත්ත” කියල හිත හදාගන්න යැයි කියමින් ඔහුගේ බිරිඳ ද නින්දට ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd