කහ දියරෙන් සෝදා පිරිසුදු කර සුදු රෙදි පටක ඔතා භාරයක් ගැට ගැසීම සඳහා දේවාලයකට රැගෙන යමින් තිබූ පහේ කාසියක් මාරු කාසි ගැටලුවක් ඇති වී බස් කොන්දොස්තරට දීමට සිදු වූ බව කියන පුවතක් බස්නාහිර පළාතේ ගමක පුද්ගලයකු සිය මිතුරකුට කී කතාවක් පසුගිය දිනක අසන්නට ලැබුණි.
දේව භක්තියෙන්  කටයුතු කරන්නකු වන මෙම පුද්ගලයා ඒ පිළිබඳව වැඩිදුරටත් කී පරිදි තමන්ට හෝ තම පවුලේ කිසියම් අයකුට අපල උපද්‍රවයක් හෝ විශේෂ වෙනත් කටයුත්තක් හෝ වේනම්   ඒ සඳහා බාරහාර වීම පුරුද්දක් කර ගත් අයෙකි.


ඒ අනුව ඔහු තම දරුවකු සිය අධ්‍යාපන කටයුත්තකට අදාළව ඉදිරි දිනක පෙනී සිටින විභාගය වෙනුවෙන් මෙම බාරය සිදු කිරීමට ඔහු නිතර මෙවැනි කටයුතු සඳහා යන දේවාලයට මෙදින ද අදාළ කාසිය ද රැගෙන බස් රථයකින් ගමන් කරමින් සිටියදී ගමනාන්තයට අදාළ බස් ටිකැට්ටුව ලබා ගැනීමට යාමේදී ඒ සඳහා රුපියල් පහක ඇද ගානක් ද එකතුව තිබීම නිසා මෙම ගැටලුව මතුවී ඇත. මෙහිදී ඔහු රුපියල් දෙසියක් (සියයේ නෝට්ටු 2ක්) බස් කොන්දොස්තරට දී ඇතත් ‘‘මාරු නෑනේ නැද්ද අතේ රුපියල් පහක් එහෙම ගන්න’’ යැයි එහිදී කොන්දොස්තර විමසා ඇති අතර එවිට ඔහුට බාරය අමතක වී කාසිය සිහියට ආ බවත් ඒ අනුව කිසිදු පැකිලීමකින් තොරව තමන් කුඩා බෑගයක පූජා භාණ්ඩ අතරේ සඟවාගෙන සිටි බෑගයට අනෙක් අත දමා රෙදි කැබැල්ලේ ඔතා තිබූ පහේ කාසිය කොන්දොස්තරට දී ඇත.
‘‘දේවාලයට ගිහින් පූජා වට්ටිය හදන අවස්ථාවේ පඬුර බලද්දී තමයි දන්නේ සුදු රෙදි පටිය විතරක් තියෙනව පහේ කාසිය නෑ කියලා’’දෙවියන් සිහි වුණේ එතකොට තමයි. ඒ විතරක් නෙමෙයි එතකොටම පහේ කාසියට වෙච්ච දේත් මතක් වුණා. මොනව කරන්නද ඉතිං දෙවියෝ රවට්ටන්න හොඳ නෑනෙ. පූජා වට්ටිය හදපු කඩෙන්ම කාසියකුත් ඉල්ලගෙන දෙවියන්ගෙනුත් වෙච්ච අතපසුවීමට සමාව ඉල්ලාගෙන වැඩේ කරල ආව ඉතින්.’’ යැයි ඔහු අසීමිත දේව භක්තියෙන් ද මිතුරාට පවසා ඇත.  

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි