හොරණ ප්‍රදේශයේ ගම්මානයක පදිංචි එක්තරා මහත්තයකු තමන්ගේ බිරිය ඉදිරියේ තමා කොතරම් දක්ෂයකුදැයි පෙන්වීමට ගොස් අන්තිමේ දී තමන්ටම සිනා සෙන්නට සිදු වූ අපූරු සිද්ධියක් ගැන අසන්නට ලැබේ.
සිද්ධියට මුල පිරී ඇත්තේ නිවසේ තිබූ විදුලි බල්බයක් දැල් වෙන්නේ නැතිවීමෙනි. බිරිය කිහිප වරක්ම “මේක බලන්නකෝ” කියා සැමියාට පැවසුව ද ඔහු එය එතරම් ගණනකට ගෙන නැත. “ඕක මට සුළු වැඩක්. මම හදලා දෙන්නම්” යැයි මහත්තයා මහත් විශ්වාසයෙන් පැවසීය.
එය ඇසූ බිරිය ද “හොඳයි එහෙනම්” කියා පැත්තකට විය. 
මහත්තයා ද වහාම පුටුවක් ගෙන බල්බය අසලට ගොස්, විදුලි කාර්මිකයෙකු මෙන් මුහුණ බැරෑරුම් කරගෙන බල්බය දෙස බලා බැලුවේය. බල්බය ගලවා බැලූ පසු කිසිවක් නොකියා නැවත සවිකර ඇත.
“දැන් හරිද?” බිරිය ඇසුවාය.


“තව ටිකක් බලන්න ඕනේ. මේවා ඉක්මනට හදන්න බෑ” යැයි ඔහු පැවසීය.
එසේ කියා විනාඩි කිහිපයක්ම බල්බය වටා අතපය කරකවමින් සිටි ඔහු අවසානයේ “හරි, දැන් ස්විච් එක දාන්න” යැයි බිරිඳට කීවේය.බිරිඳ ස්විච් එක දැමූ නමුත් බල්බය දැල්වී නැත.
“දැන් නම් හරි. ආයෙත් දාන්න” යැයි සැමියා කීවත් ප්‍රතිඵලය එසේමය.


“බල්බය පිච්චිලා ඇති” යැයි බිරිඳ පැවසූ විට සැමියාට එය තරමක්  කේන්ති ගියේය.
“මට වැඩේ කරන්න දෙන්න. ඔයා මොනවද විදුලිය ගැන දන්නේ?” යැයි කියමින් ඔහු නැවතත් බල්බය ගලවා තිබේ.
ඒ අතරේ නිවසට පැමිණි කුඩා පුතා මේ සියල්ල බලාගෙන සිටියේය.
“තාත්තේ, මේ ස්විච් එකෙන් නෙවෙයි නේද බල්බ් එක දාන්නේ?” යැයි ඔහු ඇසීය.
“ඇයි ?” යැයි තාත්තා ඇසූ විට පුතා වෙනත් ස්විච් එකක් පෙන්වීය. 
එය දුටු බිරිඳට සිනාව නවතාගත නොහැකි වී ඇත.
මහත්තයාත් කිසිවක් නොකියා පුතා පෙන් වූ ස්විච් එක දමා බැලූ විට බල්බය හොඳටම දැල්විණි.
තමන් විනාඩි හතළිහකට ආසන්න කාලයක් විදුලි කාර්මිකයෙකු ලෙස රඟපාමින් සිට ඇත්තේ වැරදි ස්විච් එකක් නිසා බව තේරුම්ගත් මහත්තයාට කියන්නට වචන නැති වී ඇත.
“මම බලන්න ගියේ බල්බ් එක නෙවෙයි... පද්ධතියම” යැයි අවසානයේ ඔහු කියා ඇති බව පැවසේ.
එය ඇසූ බිරිඳ “ඔව් ඔව්, පද්ධතියම පරීක්ෂා කරලා වැරදි ස්විච් එක හොයා ගත්තානේ” යැයි කියමින් සිනාසුණේය.
එදා සිට නිවසේ විදුලි උපකරණයක් සම්බන්ධයෙන් ගැටලු‍වක් ඇති වූ විට බිරිඳ සැමියාට කතා කිරීමට පෙර පුතාගෙන් “ස්විච් එක හරි එක ද?” කියා අසාගන්නා බව ද කියති.
බිරිඳ ඉදිරියේ වීරයකු වීමට ගොස් වැරදි ස්විච් එකක පැටලු‍ණු මේ අපූරු සිද්ධිය හොරණ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

හොරණ චමිලා අල්විස්