කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



බොරු කොණ්ඩයක් පැලඳගෙන ඉගෙන ගත් සුරූපී දියණිය විවාහ කර ගත්තා යැයි බෑනාට දොස් පවරා ඇතැයි කියන අපූරු තිදරු මවක පිළිබඳ පුවතක් සබරගමුව පළාතේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
සබරගමුව පළාතේ ග්‍රාමයක 63 හැවිරිදි තිදරු මවක් පදිංචිව සිටියි. මෙම තිදරු මවගේ දෙවැනි දියණිය උපාධිධාරිනියකි. ඇයට තවමත් රජයේ රැකියාවක් ලැබී නොමැත. මෙම උපාධිධාරිනිය කලක සිට වයස අවුරුදු 34 වූ ව්‍යාපාරයක් සිදු කරන තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබේ. 
එම තරුණයාගේ නළල මුදුණේ සිට හිස මුදුණ දක්වා හිස කෙස් ගැලවී ගොස්ය. කෙස් ගැල වී ඇති හිසේ කොටසට ව්‍යාපාරිකයා විශාල මුදලක් වැය කර බොරු කොණ්ඩයක් ද පැලැඳගෙන සිටියි. තරුණයා බොරු කොණ්ඩයක් පැලැඳගෙන සිටිනවා යැයි කිසිවකුට සොයා ගැනීමට නොහැකි තත්වයට සූක්ෂම ආකාරයට ඔහු එය පැලැඳගෙන සිටී. 


තම පෙම්වතාගේ හිසේ කෙස් නොමැති බවත් බොරු කොණ්ඩය පැලැඳගෙන සිටින බවත් හඳුනා ගත් මුල් දවසේ සිට පෙම්වතිය දැනගෙන ද තිබේ. 
ව්‍යාපාරික තරුණයාගේ සහ උපාධිධාරිනියගේ විවාහ මංගල්‍යය ඉකුත් මැයි මස දෙපාර්ශවයේ ආශීර්වාද මැද ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි. පසුව මනාලයා සිය මනාලිය කුරුණෑගල නිවසට කැන්දාගෙන ගියේය.
මෙම නව යුවළ ඉකුත් දිනක මනාලියගේ නිවසට කාර් රථයෙන් පැමිණියහ. පැමිණෙන අවස්ථාවේ දී මනාලයා බොරු කොණ්ඩය ඉවත් කර තොප්පියක් පැලැඳගෙන පැමිණ තිබේ. බෑනා තොප්පිය ඉවත් කර සිටි අවස්ථාවක් නැන්දම්මා දුටුවාය. ඔහුගේ හිසේ කෙස් නොමැති තට්ටයකු බව තරුණියගේ මව දැක කනස්සල්ලට පත් වුවාය.
පසුව තරුණියගේ මව බෑනා අසලට ගොස් මගේ දුව විවාහ කරගෙන තියෙන්නේ තට්ට මනුස්සයකු බවත් තමා කල් තියා දැන සිටියා නම් විවාහයට විරුද්ධ වන බවත් පැවසුවාය. 
පසුව තරුණයා මිනිත්තු කිහිපයක් බිම බලාගෙන කිසිවක් නැන්දම්මාට නොකියා කාමරයට ගොස් බිරිඳට සිද්ධිය සම්බන්ධයෙන් පවසා ඇත. පසුව දියණිය මව අසලට පැමිණ සැමියාගේ තට්ටය තිබුණාට කමක් නෑ අම්මේ. එයා ගොඩක් හොඳ අවංක මතින් තොර මනුස්සයෙක්. ආයේ එයාට මොකවත් කියන්න එපා. පසුව මව දියණියට කිසිවක් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වෙයි.