පෝද්දල සරත් ආනන්ද ගමගේ



මවුපියන්ගේ දැඩි විරෝධය මැද ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිටි තරුණියක හදිසියේම පෙම්වතා සමඟ පැනයාමෙන් පසු ඇය නැවත නිවසට කැඳවාගෙන යාමට මවුපියන් පැමිණෙන අතර එහිදී සිදුවූ සිද්ධියක් පිළිබඳව අපූරු කතාවක් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
මෙම තරුණියගේ මවුපියන් ප්‍රදේශයේ අතමිට සරු පිරිසට අයත් විය. ඔවුහු උපතින්ම වතුපිටි ඉඩකඩම් හිමිකාරයෝ වූහ. එකම දියණිය දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලබා නිවසට වී සිටියේ රැකියාවක යෙදෙනවාට ඇගේ මවුපියන් අකමැති වූ බැවිනි. 
මේ අතර මොවුන්ගේ කුරුඳු මිලට ගැනීමට පැමිණෙන අසල ගමක තරුණයකු සමග මෙකී දියණිය ප්‍රේම සබඳතාවයක් ඇතිකර ගත්තාය. කාලයක් තිස්සේ එම සම්බන්ධය රහසක් ලෙස පැවතියද මව්පියන්ට හෙළිදරව් වීමත් සමග එකී ප්‍රේමයට බොහෝ බාධා ඇතිවිය. එම තරුණයාගේ කීමට තරම් අඩුපාඩුවක් නොතිබුණද “ඊයෙ පෙරේදා පෝසත් වුණු ඕකුන් අපට ගැළපෙන්නේ නැහැ”‍ යි කියමින් මේ මවුපිය යුවළ දියණියගේ ප්‍රේමයට විරෝධය පෑහ.


හැන්දෑවට පොඩි අඩියකින් සප්පායම් වන මෙකී තාත්තා දියණියගේ සිද්ධියක් මතුවූ දාට කන පැලෙන්නම ගහලා දියණියට තරවටු කරන්නේය. ඔහුගේ බෝතලයෙන් සිය බිරිඳටද ටිකක් හැමදාම බොන්න දෙනවා යැයි ගමේ ආරංචියක්ද ගොඩනැගී තිබුණි. තාත්තා බීමතින් පරලවී දියණියගේ ඇඟට කඩා පනිද්දී අම්මාද ඊට නොදෙවෙනි ලෙස ආවේශ වන්නේ ඒ බව තහවුරු කරමිනි.
මවුපියන්ගේ දැඩි බාධාකිරීම් හා හිංසා තවදුරටත් ඉවසනු නොහැකි වූ තරුණිය පසුගියදාක අර තරුණයා සමග හොර රහසේම පැන ගියේය.
ඇගේ අතුරුදන් වීමත් සමග දැඩි චිත්ත පීඩාවට පත්වන මවුපිය යුවළ එදින රාත්‍රියේම පෙම්වතාගේ නිවසට ගොස් දියණිය කැඳවාගෙන එන්නට තීරණය කරන්නේය. ඒ සඳහා නිවසේ ඇති ත්‍රීරෝද රථය පැදවීමට අසල්වැසි හිතවතකුද කැඳවා ගත්තේය. ඔවුන් රාත්‍රී අටයි තිහට පමණ වනවිට “වෙන්න බෑනා”‍ ගේ නිවස අසලට ගියේය. ඔවුන් එහි ළඟාවනවිට එතන එකම රස ගුලාවකි. විදේශීය මත්පැන් සහිත මධුපානෝත්සවයකි.
ඔවුන් දෙපළ පැමිණ ඇතිබව දැනගන්නා දියණිය නිවස ඇතුළේ සිටම හඬාගෙන පැමිණ ත්‍රීරෝද රථයේ සිටින මවුපිය යුවළගේ දෙපා බදාගෙන කඳුළු වැගිරීය. පසුව ඇය අම්මා වත්තන් කරගෙන නිවස තුළට කැඳවාගෙන ගියාය. ත්‍රීරෝද රථයෙන් බැස වටපිට බලමින් සිටි තාත්තා ළඟට පැමිණි තරුණයකු කාඩ්බෝඩ් පෙට්ටියක් විවෘත කර එහි තිබුණු විදේශීය මත්පැන් බෝතලයක් එළියට ඇද වීදුරුවක් සමග ඔහුට පිරිනැමීය. 
පසුව තරුණයා බෝතලය කඩා ඔහුගේ වීදුරුව පිරෙන්නටම මධුපැන් වක්කර දුන්නේය. ඔහු එම මත්පැන් වඩිය කටේ හලාගන්නවාත් සමගම තවත් තරුණයෙක් පීරිසි තට්ටුවක තබාගෙන පැමිණි කටගැස්මක්ද ඔහුට ළං කළේය.
 පැයක් හමාරක් යනවිට බඹරපදම්වූ තරුණියගේ තාත්තා නටන්න පටන් ගත්තේය. පසුව ගේ ඇතුළට ගොස් සිය බිරිඳද කැඳවාගෙන ආවේය. පසුව ඇයටද වීදුරුවක් දෙකක් විදෙස් මත්පැන් පොවාගෙන “එළ කොල්ලෙක්නෙ අපේ කෙල්ල සොයාගෙන තියෙන්නෙ”‍ කියමින් දෙදෙනා එකතුව ඇතිපදම් නැටුවෝය.
එම සිද්ධියත් සමග දියණියගේ ප්‍රේම සම්බන්ධයට මවුපියන්ගේද අනුග්‍රහය ලැබී ඇති අතර ඉදිරි දිනකදී ප්‍රසිද්ධ හෝටලයක උත්සවාකාරයෙන් මංගල උත්සවය පැවැත්වීමට දින නියමවී ඇතැයිද ආරංචිය.