අසනීපයකට කඩිනම් ප්‍රතිකාර ගැනීම සඳහා පුතු එවන ලද මුදලක් රැගෙන පියා අනඟ රැඟුමකට ගිය පුවතක් හස්තිශෛලපුරවරයෙන් අසන්නට  ලැබුණි.
දරු තිදෙනකුගේ පියෙකි. ඔහු මව සමඟ නිවසේ වාසය කරයි. ගොවිතැනින් දිවි සරු කිරීමට වෙර දැරූ පියා කිසිවිටෙක තම දරුවන්ට අගහිඟකම් ඇති වෙන්නටත් අධ්‍යාපන  කටයුතු අඩපණ  වෙන්නටත් ඉඩ තැබුවේ නැත.
එකම දියණිය විවාහ වී වෙනත් පළාතක වාසය කරන අතර අවිවාහක පුත්තු දෙදෙනා පිටත රාජ්‍ය  සේවාවල නියැලෙති. තමන් යහමඟට ගෙනෙන්නට වෙහෙස දැරූ පියාටත්, මවටත් දරු තිදෙනා පණ මෙන් සලකති. දුරස්ව සිටියත් නිරතුරුව දුක සැප විමසති.
ගොවිතැනට උරදුන් පියා හදිසියේම රෝගී විය. මේ තත්ත්වය හමුවේ  පියාට ගොවිතැන්  කටයුතුවල නියැලෙන්නට නොහැකි නිසා මව්පිය දෙදෙනාටම අවැසිතාවයන් සපුරා ගන්නට දරුවෝ මුදල් දුන්හ.


ඒ අතරේ පියා නැවත රෝගී විය. එක් පුතකු වහාම ඔහු පෞද්ගලික  රෝහලකට රැගෙන ගොස් විශේෂඥ වෛද්‍යවරයකු වෙතට ඉදිරිපත්  කරන ලෙසට පියාට මුදල් එව්වේය.
එය රැගෙන වෛද්‍යවරයා වෙතට යාමට ඊ චැනල් වෙතින් අංකයක් වෙන් කර ගත්තේය. එම අංකය වෙන් කළේ තම දුවගේ ජංගම  දුරකථනයෙනි. ඔහු අසනීපයෙන් පසුවෙන නිසා බිරිය තනියට යාමට උත්සාහ  කළාය.
‘‘එපා එපා ඔයා ඉන්න. මං ගිහින් බෙහෙත් අරන් එන්නම්”‍ ඔහු කීවේය.
ඔහු අලු‍යම පිට වී ගියේය. දහවල් කාලය එළඹෙන්නට අදාළ පෞද්ගලික රෝහලෙන් දුවට ඇමතුමක් ආවේය. ඒ වෙන් කළ ඊ චැනල් සේවයට එනවාද, නැද්ද කියා දැන ගැනීමටය. ‘‘අනේ එයා උදෙන්ම ආවානේ”‍ කියා පිළිතුරු  දුන් දුව ඒ ගැන විමසීමට පියාට කෝල් කළාය.
ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතය. පියාට කරදරයක්  බව සිතූ දුව වහ වහා රෝහල කරා ගියාය. පියා පෙනෙන්නට නැත. අදාළ අංකය හමුවේ ඔහු පැමිණ  නැතැයි එහි සේවකයෝ ද පැවසූහ. ‘‘පියා නැත. ඇය සිද්ධිය  අම්මාටත් තම අයියලාටත් දැන්වූවාය.
ඔවුහු තම යහළුවන්ටත් පවුලේ අයටත්  ඒ බව කීහ. සැවොම කලබල වූහ. කෙසේ වෙතත්  පියා ඇඳිරි වැටෙන විට ගෙට ගොඩ විය‍. රෝහලට ගිය බවත්, බෙහෙත් ගත් බවත් ඔහු කීවේය.
බිරියට බොරුවක් කියා වෙට්ටුවක් දමා බේරෙන්නට සිතා ආවත් තම දරුවන් හා පවුලේ  අය පැමිණ සිටි අයුරු  දැකීමෙන් එම කුරුමානම වැරදුණු  බව වැටහුණු ඔහු අන්ද මන්ද විය.
රෝහලට ගොස් නැති පියා  ඔසු හලකින් බෙහෙත් අරන් පුතා එවු මුදලින් අනියම් කතක් සමඟ වට වන්දනාවේ ගොස් ඇති බව දැන ගන්නට වැඩිවේලාවක් ගත වූවේ නැත.

 

මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම