දෙවලපොල කීර්ති ප්‍රනාන්දු
සැමියා විසින් යතුරු පැදියේ අසුන යට හොර රහසේ සඟවා තිබූ කසිප්පු පැකැට්ටුවක් සමඟ බිරිඳ එම යතුරුපැදියෙන් පාසලේ ශ්‍රමදානයකට යාමේ සිදුවීමක් පිළිබඳව මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේසන් බාස් කෙනකු වන මෙම සැමියා දිනපතා උදෑසන වැඩට යාමට පෙර පුරුද්දක් ලෙස මත්පැන් පානය කිරීම සිදුකරන අයකු බවද පැවසේ.
සිද්ධිය වූ දිනට පෙර දින සවස වැඩ අවසන් වී නිවසට පැමිණ ඇති මෙම සැමියා ගම් ප්‍රදේශයේ ඇති මත්පැන් අලෙවි කරන ස්ථානයකට ගොස් මත්පැන් පානය කර පසුදා උදෑසන පානය කිරීමට පැකට් කරන ලද කසිප්පු බාගයක් රැගෙන විත් තිබේ.
මත්පැන් පානය නිසා දිනපතාම බිරිඳගේ ඇනුම් බැනුම්වලට ලක්වෙන මෙම පුද්ගලයා එම කසිප්පු පැකට්ටුව යතුරුපැදියේ අසුන යට බක්කිය තුළට දමා බිරිඳට හසු නොවන පරිදි සඟවා නින්දට ගොස් තිබිණ.
පසුදා උදෑසන බිරිඳ අවදි වී පාසල් යන තම දරුවන් දෙදෙනාව සූදානම් කරගෙන පෙර දැනුම් දී තිබූ පරිදි පාසලේ ශ්‍රමදානය සඳහා යතුරු පැදියේ නැගී පිටවී ගොස් තිබූ අතර පුරුද්දක් ලෙස බිරිඳ පාසල් ගොස් එනතුරු නිදාගන්නා සැමියා අවදිව බලන විට දරුවන් දෙදෙනාව පාසලට රැගෙන ගිය බිරිඳ ආපසු පැමිණ තිබුණේ නැත.
උදෑසන පානය කිරීමට සඟවා තිබූ කසිප්පු පැකට්ටුවද එම යතුරු පැදියේ සඟවා තිබූ බව සිහිවීමත් සමගම කලබලයට පත් සැමියා නිවසේ තිබූ දරුවාගේ පාපැදිය පැදගෙන නිදි පැදුරෙන්ම පාසලට ගියේය.
කලබලෙන්, පාසල අසලට ගියද නිදි පැදුරෙන්ම පැමිණි මෙම පුද්ගලයා හැඳ සිටි පරණ සරම හා කමිසය නිසා පාසල තුළට ගොස් බිරිඳව හමුවීමට නොහැකිව පාසල් ගේට්ටුව අසල සිටියදී ඒ අසල සිටි හඳුනන අයකුගේ උදව්වෙන් බිරිඳට පණිවිඩයක් යවා ඇයව පාසලෙන් එළියට කැඳවාගෙන පැමිණ ඇත.
පසුව බිරිඳගෙන් යතුර ඉල්ලාගෙන ඇති සැමියා යතුරු පැදියේ අසුන යට බක්කියේ සඟවා තිබූ කසිප්පු පැකට්ටුව එළියට ගෙන ඉනේ සඟවා ගෙන ඇති අතර එය දුටු බිරිඳ කෝපයට පත්වී අවට සිටි පිරිස පිළිබඳව ද කිසිදු හැඟීමක් නැතිව සැමියාට බැණ වදින්නට පටන් ගැනීම නිසා ලැජ්ජාවට සහ කලබලයට පත් සැමියා පැමිණි පාපැදියේම නැගී පලා ගියේ අවට සිටි සැමගේ ද මුවගට සිනහවක් එක් කරමින්ය.
COMMENTS