කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
තම නිරුවත වසා ගැනීමට මානාපඳුරක් බදාගෙන පූස් පැටවකු සෙවූ අයකුට තම උපන් ඇඳුමෙන් පැන දුවන්නට සිදුවූ අපූරු කතාවක් කහටගස්දිගිලිය පිටිසරබද ගමකින් අසන්නට ලැබුණි.
ඔහු මැදි වයසේ පසුවූවෙකි. මස් මාංශ නොමැතිව ආහාර ගත්තේ නම් එය ඉතා කලාතුරකිනි. ඒ තරමටම ඔහු මස් මාංශ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූවෙකි. තැන නොතැන නොබලා මස් මාංශ ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් දෙපාරක් නොසිතා කිරීමට පෙලඹෙන ඔහු හදිසිකාරයෙකි.
ඔහුත් බිරිඳත් ගොවිතැන් කරමින් ජීවත්වන අතර ඔවුන්ගේ හේන පිහිටා තිබුණේ කුඩා වැවක් ඉස්මත්තේය. මෙම කුඩා වැවට වැඩිපුරම යෑම් ඊම් සිදු කරන්නේ මෙම අඹු සැමි යුවළ පමණි. කැලෑව මැදින් වැටී ඇති අඩි පාරක් ඔස්සේ මෙම වැව පසුකරගෙන ඔවුහු තම හේනට යති.
දිනක් බිරිඳ හේනේ වැඩ කරමින් සිටියදී සැමියා හේනෙන් පිටත්ව ගියේ ඇයට හේනේ ටික වේලාවක් වැඩ කර නිවෙසට එන ලෙස දන්වමිනි.
‘‘ගෙදර යන ගමන් මාළු කුරියෙක් දෙන්නෙක් අල්ලාගෙන ගියා නම් හොඳයි”‍ ඔහු එසේ සිතමින් වැව අද්දරට ගොස් වටපිට බලා ඇඳ සිටි සරම ගලවා එතැන තබා උපන් ඇඳුමෙන් වතුරට බැස්සේය.


සිතූ පරිදි වතුරේ තිබූ ගස්වල මුල් අස්සේ සිටි මාළු කීපදෙනකු අල්ලා ගත් ඔහුට කිසියම් හදිසි අවශ්‍යතාවක් ඇතිවී කැලයට රිංගුවේය.
මේ අල්ල පනල්ලේ බිරිඳ දරමිටියක් හිස තබා කැලේ මැදින් හේනේ සිට ගෙදරට එමින් සිටියාය. සැමියාගේ සරම මග වැටී ඇති අයුරු දුටු ඇය සරම ද රැගෙන නිවෙසට ගියේ වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නැතිවය.
කැලේට රිංගා තම කාර්යය සිදු කිරීමෙන් පසුව එළියට පැමිණි සැමියාට සරම නැති බව වැටහුණි. 
දැන් ඉතින් කුමක් කරන්නද සිතා හෙමින් හෙමින් ඈත මෑත විපරම් කර බල බලා කවුරුන් හෝ ඉදිරියට හමුවේවිදෝ සැකෙන් සහ බියෙන් උපන් ඇඳුමෙන්ම ඉදිරියට ගමන් කළේය.
මේ අතර ගමේම තරුණියෝ දෙදෙනෙක් කුමක් හෝ කටයුත්තක් සඳහා වැව දෙසට එමින් සිටියෝය.
මාළු වැලක් අතේ එල්ලාගෙන නිරුවතින් ඉදිරියට එමින් සිටි මොහු ඉදිරියෙන් එන තරුණියන් දෙදෙනා දැක තම නිරුවත වසන් කර ගැනීමේ අරමුණින් පාර අයිනේ උසට වැවී තිබුණු මානාපඳුරක් මැදට පැන බිම වාඩි වී කිසිවකු සොයන ආකාරයේ රංගනයක යෙදුණේ වෙන කළ හැකි දෙයක් නොවූ හෙයිනි.
‘‘මාමා, මොනවද හොයන්නේ?”‍ ළඟට ආ තරුණියෝ දෙදෙනා විමසුවෝය.
‘‘බලන්න දුවේ, හරි වැඩේනෙ මට වුණේ අපේ ගෙදර හුරතලේට ඇති කරන පූස් පැටියා මේ පඳුරට පැන්නා නොවැ. මේකා දැන් හැංගිලා. ඒකයි මං මේ හොයන්නෙ.”‍
තරුණියෝ දෙදෙනා ද ඔවුන් ආ කාරිය මොහොතකට අමතක කර පඳුර වටේ කරකැවෙමින් පූස් පැටියා අල්ලා ගැනීමට ‘‘නිරුවත්කාරයාට”‍ උදව් කළෝය.
‘‘එන පොට හොඳ නැති බව ඒත්තු ගිය උපන් ඇඳුම්කාරයා තම අතේ තිබූ මාළු වැලද විසිකොට හීන් සීරුවේම මානා පඳුරෙන් එළියට පැන්නේය. ඉන් පසු ‘‘පණ එපා”‍ කියා දුවන විලාසයෙන් පිම්මට දෙකට තරුණියන්ගේ ඇස් හතරෙන් බේරී සැඟවී ගියේය.
තරුණියෝ දෙදෙනා කාරණය වටහාගෙන ඔවුන් ආ කාරිය කරගෙන යළි ගමට ගොස් මෙම ප්‍රවෘත්තිය විකාශය කළෝය.
දැන් ඔහු හමුවන විට ගමේ කොල්ලන් කුරුට්ටන් කොහේ හෝ සැඟවී සිට හඬ නගා  ‘‘ඤාව් ඤාව්”‍ යනුවෙන් පූසෙකුගේ හඬ අනුකරණය කරන විට මෙම උපන් ඇඳුම් කාරයා එම කොල්ලන් කුරුට්ටන් පතුරු යවන්නේ අසැබි වදන් සමුදායක් මුදා හරිමිනි.