හසලක සුනිල් ඒකනායක
ගෙවත්තකින් හොරෙන් ගම්මිරිස් කැඩූ පුද්ගලයන් දෙදෙනකු ගමේ එක්තරා දේවාලයකින් මතු වූ සිද්ධියක් හසලක ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
මේ දිනවල ගම්මිරිස් ඵලදාව නෙළන කාලය නිසා මිනිපේ ගොවි ජනපදයේ ගම්මාන බොහෝමයක ගොවියන්ගේ අතමිට සරු වී තිබේ. ඇතැම් ගෙවතුවල සරුවට වැවී තිබෙන එම ඵලදාවට සොරුන්ගේ බැල්ම ද නොමදව වැටී තිබේ. ඒ නිසා බොහෝ ගොවියෝ තම ගම්මිරිස් අස්වැන්න එම සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ද දැඩි වෙහෙසක් ගනු ලබති.
මෙම ගොවි මහතාගේද ගෙවත්තේ ගම්මිරිස් ඵලදාවක් යම් මට්ටමක තිබිණි. ඔහු තම ඥාතියකුගේ අවමංගල කටයුත්තක් සඳහා පවුලේ සියලු දෙනා ගොස් නැවත නිවසට පැමිණියේ දින තුනකට පමණ පසුය. පෙරවරුවේ නිවසට පැමිණි ගොවි මහතා කහට කෝප්පයක් පානය කිරීමෙන් අනතුරුව පිහිය ද රැගෙන ගෙවත්තට ගියේ ගෙවත්තේ පහළ කොටසේ වැවී තිබුණු මානා පඳුරු කීපයක් කපා දමා එම කොටස එළි පෙහෙළි කිරීම සඳහාය.
ඒ යන අතරේ ඔහුට දැකගන්නට ලැබුණු දෙයින් පුංචි තිගැස්මක් ඇති විය. ගම්මිරිස් වත්තට කිසියම් අයකු පැමිණ ඇති බවත් වැල්වල තිබූ ගම්මිරිස් කඩා අතු රිකිලි බිම දමා ඇති බවත්ය. ගම්මිරිස් කැඩූ සොරුන් ගැන දස අතේ කල්පනා කළත් තමන්ගේ ගෙවත්තෙන් යමක් සොරකම් කරන්නට තරම් කෙනකු මේ ගමේ නම් නැහැ. මොකද මොහුගේ ගෙවත්තේ ඉදෙන පැහෙන බව භෝගයක් ගමේ සුබ මඟුලකට, අවමංල්‍යයකට, පිංකම් ගෙයකට සේම වෙනත් ආගමික කටයුත්තකට නොවරදවාම නොමිලයේ සපයන කෙනකු බව ගම ම දන්නා නිසාවෙනි.
හා හොඳයි බලමු. මේ හොරාට හොඳ වැඩක් කරන්නම්. ආයේ කවදාකවත් හොරකම් නොකරන්න යැයි තමාටම කියාගත් මේ ගොවි මහතා නිවසට පැමිණ නිවැසියන්ද දැනුවත් කර ගමේ දේවාලයට යන බව පවසා නිවසින් පිටත්ව ගියේය.
දේවාලයට යෑමට පෙර ගමේ කඩයට ගොඩවී දේවාලයේ පූජා කටයුතුවලට අවශ්‍ය අඩුම කුඩුම ටික ගන්නා විට එම ස්ථානයේ සිටි ගැමියන් කීප දෙනෙකු ඔහුගෙන් විමසුවේ කවදාකවත් නැතිව මේ කපුරු පොල්තෙල් හඳුන්කූරු අරගෙන කොහේ යනවා දැයි කියාය. එහිදී තමන්ට සිදුවූ විපත ගැනත් යන ගමන ගැනත් ඔවුන්ට පවසා අසවල් දේවාලයේ පොල් ගහලා මේ හොරුන්ට නිසි දඬුවම් ලබාදෙන බව පවසමින් දේවාලය බලා පිය මැන්නේ කඩිමුඩියෙනි.
දේවාලයට යන විට තම අවශ්‍යතා ඉටු කර ගැනීමට දහ දෙළොස් දෙනෙකු පමණ පැමිණ සිටි අතර, තම වාරය පැමිණෙන තුරු මොහු අසල තිබූ පුටුවක වාඩිවී සිටියේය. එසේ සිටින විට වයස අවුරුදු 28 ක් පමණ වන තරුණයන් දෙදෙනකු හති දමමින් දේවාලය කරා එන අයුරු ඔහුට දැකගන්නට ලැබුණි. එසේ පිම්මේ පැමිණි ඔවුන් දෙදෙනා ගොවි මහතා ළඟට පැමිණ දණගසා වැඳ ”අනේ බුදු මාමේ. අපිට පොල් ගහන්න එපා. අපිට සමාවෙයන් අපි කවමදාකවත් ආයේ මේවාගේ නරක වැඩ කරන්නේ නැහැ. අපි ඒ ගැන දෙවියන් ඉදිරියේ පොරොන්දු වෙනවා. ඔයාගේ අලාභයත් අපි ගෙවනවා” ඇතුළු විවිධ වදන් පවසා ආයාචනා කරන්නට විය.
එම ස්ථානයේ සිටි කපු මහතා ඇතුළු බැතිමතුන්ට මෙය ගැටලුකාරි තත්වයකි. ඒ නිසා කපු මහතා ගොවි මහතාගෙන් කරුණු විමසීමේ දී තමන්ට සිදුවූ සිද්ධිය පැවසූ අතර ඉන් පසු ඔවුන් කර ඇති කටයුත්තේ බරපතළකම පිළිබඳව පවසා දැන් මේ ගොවි මහතා දේවාලයේ දී පොල් ගසා කන්නලව් කළා නම් තමන්ලාට විශාල අගතියක් සිදුවීමට ඉඩ තිබුණා. ඒ නිසා වහාම කළ වරදට සමාව ගෙන මින් ඉදිරියට මේවාගේ නොහොබිනා වැඩ නොකර දෑතේ වැඩක් කර යමක් උපයා ගන්නා ලෙසට ද කපුමහතා ඔවුන්ට අවවාද කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා දේවාලයට ගොස් දේව ප‍්‍රතිමාවට වැඳ දෙවියන්ගෙන් ද සමාව ගෙන ඔවුන් සොරකම් කළ ගම්මිරිස්වල අලාභය සතියක් ඇතුළත ගෙවන බවට ගොවි මහතාටත් කපු මහතාටත් පොරොන්දු වී පිටව ගිය අතර නියමිත පරිදි සතියකින් අදාළ මුදල ගොවි මහතාට ගෙවා දමා පසු දිනම ඉදිකිරීම් ආයතනයක රැකියාවක් සඳහා පිටත්ව ගිය බව ගමට දැනගන්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd