කැබිති ගොල්ලෑව හේමන්ත රණසූරිය
මස් කෑමට ඇති පෙරේතකම හේතුවෙන් මස් පීරිසි දෙකකට සහ අමතර බත් පිඟානකට මුදල් ගෙවීමට සිදුවූ පුවතක් කැබිතිගොල්ලෑව නගරයේ හෝටලයකින් අසන්නට ලැබුණි.
කතාව සැකෙවින් මෙසේය.
අප මේ කියන පුද්ගලයා මාංශ අනුභව කිරීමට දැඩි රුචිකත්වයක් දක්වන අයෙකි. ඔහු නගරයට යන සෑම දවසකම හෝටලයකට ගොඩ වැදී මස් පීරිසි දෙකක් බත් හෝ ඉඳිආප්ප සමග ගිල දැමීම ඔහුගේ පුරුද්දකි.
මෙන්න මේ කියන දවසේ අපගේ මාංශ භක්ෂකයා හෝටලයකට ගොස් හරි බරි ගැහී වාඩිවී ඕඩර් කර ලබාගත් මස් පීරිසි දෙකම ඉඳිආප්ප පිඟානට දාගෙන ඉස්පාසුවක් නැතුව ගිල දමන්නට පටන් ගත්තේය.
එම මේසයේම එහා කෙළවරේ උපශාන්ත පෙනුමකින් යුත් තැනැත්තෙක් සන්සුන් ඉරියව්වෙන් යුක්තව බත් පිඟානක් කමින් සිටියේය. ඔහුගේ එම පිඟානේ එළවළු වෑංජන පමණක් තිබීම හේතුවෙන් ඔහු නිර්මාංශ අයකු බව පෙනෙන්නට තිබුණි.
අප කතා නායක මස් ගිල දමන්නා ලොකු ගැටලුවකට මැදිවී සිටින බවක් මේ මොහොතේ දක්නට ලැබුණි. එනම් තරමක් විශාල මස් කුට්ටියක් ඔහුගේ පිඟානේ තිබුණු අතර එය කුඩා කොටස්වලට කඩා ගැනීමට ඔහු මහත් වෙහෙසක් දරන බව පෙනෙන්නට තිබුණි. දබර ඇඟිල්ලත් මහපට ඇඟිල්ලක් ආධාරයෙන් මස් කුට්ටිය වෙන්කර ගැනීමට උත්සාහ කළත් එය පිඟානේ අකීකරුව එහාට මෙහාට ලිස්සමින් තිබුණි.
මස් කෑල්ලට පොර බදමින් සිටි ඔහුගේ කටේ කොනකින් කෙළ වැක්කෙරෙමින් තිබුණි. එක්වරම ඔහු මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල පිඟානට තදකර මස් කෑල්ල කැඩීමට දැරූ උත්සාහයේදී එය ක්ෂණයෙන් පිඟානෙන් එළියට පැන මේසයේ එහා කෙළවරේ කෑම කමින් සිටි තැනැත්තාගේ පිඟානට පැන්නේය.
නිර්මාංශික තෙමේ මහත් අපුලෙන් ඒ දෙස බලා මාංශ භක්ෂකයා දෙස රවා බලා ඔහුගේ කෑම පිඟානම පසෙකට තල්ලු කළේය.
මේ සිද්ධිය දුටු වේටර් මහතා එතැනට පැමිණ මස් කෑල්ල බත් පිඟානට වැටුණු නිර්මාංශිකයාගෙන් සමාව ඉල්ලීය. මාංශ භක්ෂිකයාද මහත් සේ බියට පත් වී ඇති අයුරු පෙනෙන්නට තිබුණි.
කෙසේ හෝ හෝටල් හිමිකරුද එතනට පැමිණි අතර, නිර්මාංශික පුද්ගලයාගේ බත් පිඟානට මුදල් අවශ්‍ය නැති බව පවසා අප කතා නායක මාංශ භක්ෂකයාට එහි බිල ගෙවන ලෙස විධානය කළේය.
කිසිවක් නොකියූ මාංශ භක්ෂක තෙමේ ඔහුගේ නොහික්මුනු මස් කෑල්ල කරන ලද දඩබ්බර ක්‍රියාවට වන්දි වශයෙන් බත් පිඟානටද මුදල් ගෙවා හෝටලෙයන් පිටව ගියේය.
එහෙත් මේ සිද්ධියේ වං හුං මාංශ භක්ෂකයා නොසිතූ පරිදි ඔහුත් සමගම හෝටලයෙන් පිටව ගියේ ඔහුගේ ගම්පළාත දෙසටය.
“................ අහවලා මස් කෑවා වගේ” යැයි කියමනක් එම ගමේ ගොඩේ පැතිරී ඇති බව දැන ගන්නට ලැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd