කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
“පෙරේතකමට ඇලජික්” මස් කා නිරුවතින් පොල්කොළ දුම් ඇල්ලූ පුද්ගලයකු පිළිබඳ කතාවක් වයඹ පළාතේ එක් කෙළවරක පිහිටි ගොවි ගමකින් පසුගිය දිනක අසන්නට ලැබුණි.
අසාත්මිකතාවයක් නිසා මෙම සිද්ධියට අදාළ පුද්ගලයාට කිසියම් සත්ව මස් වර්ගයක් අගුණය. ඔහුට එම මස් කනවා තියා එහි සුවඳවත් විඳින්නට බැරිය. ඒ ඔහු එම මස් කෑවොත් ඇඟ කැසීම, ඇඟපුරා පලු දැමීම මෙන්ම ඔක්කාරය, වමනය දැමීම වැනි සෞඛ්‍ය ගැටලු ඇති කරන නිසාය.
ඔහු ගෙදර ගෘහ මූලිකයාය. මේ නිසා නිවසේ ඔහුගේ බිරිය හා දරුවන්ද එම මස් කෑම නවතා දමා ඇත. කෙසේ වෙතත් ගෘහ මූලිකයා පසුගිය දවසක කිසියම් අවශ්‍යතාවයක් සඳහා දුරබැහැර ප්‍රදේශයක සිටි සිය හිතවතකු හමුවීමට උදෑසන නිවසින් පිටත්වී ඇත. ඒ පසුදින ආපසු ඒමේ අදහසිනි. මෙම ගමන පිළිබඳව ඔහුගේ බිරිය හා දරුවන් ද දැනුම්වත්ව සිට ඇත.
මේ අතර සිය පියා දින දෙකකට ගෙදර නැති නිසා ඔහුට තහනම් මස් එදින දවල් ආහාරයට ගන්නට දරුවෝ යෝජනා ස්ථිර කර ගත්හ.
ඒ අනුව එක් අයකු ගොස් රැගෙන මස් දහවල් ආහාරය සඳහා මව සකසමින් (උයමින්) සිටියාය. “පුවක් ගහෙත් දෙබල්” කීවාසේ ඔය අතරේ “වැඩක් නෑ අද ඒ ගමන ගියාට ඒ මනුස්සයට අද වෙන හදිසි වැඩක් යෙදුන කියල අනිද්දට පුළුවන්නම් එන්න කියල කෝල් එකක් දුන්න. මම ඉතිං ටවුමට ගිහින් ආපහු ආව.” යැයි කියාගෙනම ගෙට ගොඩවූ සිය පියා දැකීමෙන් තුෂ්ණිම්භූතවූ දරුවන් එකිනෙකාගේ මුහුණු දෙස බලන්නටත් බියට පත් මව මුළුතැන්ගේ දෙසට දුවන්නටත් විය.
“ඇයි බන් උඹල තුෂ්ණිම්භූතවෙලා වගේ බලන්නෙ. මොකද වුණේ” එවිට පුතා ”හරි වැඩේනෙ තාත්තෙ වුණේ තාත්ත හෙට එන නිසා අපි දවල්ට අර තාත්තට කන්න බැරි මස් ගෙනත් ඉව්වා තාම කෑවෙත් නෑ. තාත්තට ඒ මස් කන්න හොඳ නෑනේ ඒකයි.”
පුතා ඇත්ත තත්වය විස්තර කළ අතර එවිට පියා පවසා ඇත්තේ ‘ හැබැයි ඉතිං මටත් දැන් එහෙම අමුත්තක් නම් දැනෙන්නෙ නෑ. වෙනද එහෙනම් ගෙට ගොඩ වෙනකොටත් ලෙඩේනෙ. අද එහෙම එකක් දැනෙන්නෙ නෑනේ කියමින්ම කුස්සියට ගිය පියා‘‘ ඕන එකක් මාත් කනව අද බලන්නත් එක්ක මස් කෑල්ලක්’’ කියමින් මස් හට්ටියේ පියන ඉවත්කර ඔහුම හට්ටියෙන් මස් කෑල්ලක් ගෙන කටේ දමා ගෙන ඇත.
වැඩේ හබක් විය. ගත වූයේ නිමේශයකි. ඔහු ටිකෙන් ටික ඇඟ කසන්නටත් ඇඹරෙන්නටත් විය.’ මගෙ අම්මෝ මොකක් හරි කරපල්ල බන් ඉන්න නම් බෑයි‘‘ කියමින් ඔහු ගෙයින් එළියට බැස්සේය. එහාට දිව්වේය, මෙහාට දිව්වේය. ඒ පාර වමනෙත් දැම්මේය. හිසේ සිට දෙපතුල දක්වාම කැසිල්ලය. මේ අතර පුතා මස් හට්ටියම රැගෙන ගොස් වත්ත පහළටම විසිකර දැම්මේය. පියාගේ ඉල්ලීමට දුව ගෙවත්තේ ගිනි මැලයක් අවුලන අතරේ බිරිඳ අමු පොල් අත්තක් රැගෙන විත් ගිනි මැලයට දම්මේය. දරුවන්ට පැත්තකට යන්නට යැයි කියා ඇය සිය සැමියාට කැමති ආකාරයකට සිය ශරීරයට පොල්කොළ දුම් ඇල්ලීමට ඉඩ සලසා දුන්නාය. ඒ විතරක් ද නොව ඇය සිදු වූ වැරැද්ද ගැන කනගාටුවට පත්වී පුතා සමග සැමියා වෛද්‍යවරයකු වෙත යැවීමට ද පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd