IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෙම්වතියට ගෙනා කුඩය අම්මා ඉහලාගෙන ගිහින්

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අනුව විෂයයන් නවයට ඒ සමාර්ථ 9 ක් ලබාගෙන තිබුණු පෙම්වතියට ත්‍යාගයක් ලෙස දීමට තරුණයකු ගෙනත් තිබුණු කුඩයක් මව අධික වර්ෂාපතනයට ඉකුත් දිනක දී ඉහළාගෙන යාමෙන් තරුණයයි මවයි අතර බහින් බස් වීමක් සිදුව ඇතැයි කියන පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 22 හැවිරිදි තරුණයෙක් මව්පියන් සමග නිවසේ පදිංචිව සිටියි. තරුණයා පාසල් අධ්‍යාපනයෙන් පසුව කෑගල්ල ප්‍රදේශයේ ඇගලු‍ම් ආයතනයක සේවයට බැදී දැනට වසර තුනකට වැඩිය.
මෙම තරුණයා මීට මාස පහකට පමණ ඉහතදී ඇගලු‍ම් ආයතනයේ සේවය කරන හිතවතකුගේ රුවන්වැල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය නිවෙසකට රාත්‍රි සහභාගී විය. අවමංගල්‍ය නිවෙසට ගිය ඇගලු‍ම් ආයතනයේ සේවක සේවිකාවන්ට රාත්‍රී ආහාර පාන සූදානම් කර තිබුණේ අල්ලපු නිවෙසකය.
තරුණයා ඇතුළු සෙසු සියලු‍ දෙනා අල්ලපු නිවසේ කෑමට ගිය අවස්ථාවේ දී පිඟන්වලට ලන්ෂීට් කොළ එලමින් සිට ඇත්තේ නිවසේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. 
එදා සිට තරුණයාත් පාසල් ශිෂ්‍යාවන් අතර සබඳකම් ඇතිවී ඉන්පසු ඉඩකඩ ලැබුණු සෑම අවස්ථාවකදීම දුක - සැප අසා කෙටි පණිවුඩ යැවීය. පාසල් ශිෂ්‍යාව ද තරුණයාට කෙටි පිළිතුරු පණිවුඩයක් එවීමට අමතක නොකළාය. පසුව දෙදෙනා වැඩි කාලයක් යාමට පෙර පෙම්වතුන් බවට පත්වූහ.


අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල ඉකුත් දා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කෙරිණ. එහිදී පාසල් ශිෂ්‍යාව විෂයන් නවයටම ඒ සමාර්ථ නවයක් ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වී සිටියාය. ශිෂ්‍යාව ජයග්‍රහණය සම්බන්ධයෙන් තරුණයාට කෙටි පණිවුඩයක් මගින් දැන්වූවාය. 
තරුණයා ජයග්‍රහණය වෙනුවෙන් පාසල් පෙම්වතිය සතුටට පත් කිරීමට ත්‍යාගයක් අරන් දීමට තීරණය කළේය. තරුණයා ඉකුත් දා වැඩ ඇරී කෑගල්ල නගරයට පැමිණ වෙළෙදසලකින් අලංකාර කුඩයක් මිලට ගෙන අලංකාර බෑගයකට දමා නිවසට රැගෙන පැමිණ කාමරයේ මේසයේ කොනක තැබුවේ ඉඩ ලද අවස්ථාවක පෙම්වතියට පරිත්‍යාග කිරීමේ අරමුණින්ය.


ඉකුත් දිනක දී මුළු දවස පුරාම කඩින් කඩ වැහි ඇද හැලෙන්නට විය. අල්ලපු නිවසේ පදිංචිව සිටින වයෝවෘද්ධ මව බැලීමට යාමට තරුණයාගේ මව පුතාගේ මේසය මත බෑගයක දමා තිබුණු කුඩය ගෙන ඉහලා ගෙන ගියාය. ඇය ආපසු පැමිණ වතුර බහින්න යැයි පවසා කුඩය සාලයේ කොනක තැබුවාය.
සවස වැඩ ඇරී නිවසට ආ තරුණයා සාලයේ තිබුණු කුඩය දැක උන්හිටිතැන් ද අමතක විය. හනික කාමරයට දිව ගොස් මේසය මත තබා තිබුණු බෑගය ගෙන බැලු‍ව ද එහි කුඩය නොතිබුණි. පසුව තරුණයා සිය මවගෙන් කාමරයේ මේසය මත තබා තිබුණු කුඩය ගැන විමසීමක් සිදු කෙරිණ. තමා කුඩය ගෙන මිත්තනිය බැලීමට ගිය බව මව තරුණයා හමුවේ පැවැසුවේය. 
තරුණයාට කේන්ති ගියේය. ‘‘මේසය මත තිබුණු කුඩය ගත්තේ මොකට ද වෙන කුඩ තිබුණේ නැද්ද ”‍ යනුවෙන් තරුණයා දොස් නගන්නට වූ තරුණයා නතර නොකර කෑ ගැසීම හේතුවෙන් කඩෙන් අලු‍ත් කුඩයක් යළි මිල දී ගන්නැයි පවසා මව රුපියල් 2000 ක මුදල් ඒ මොහොතේම මේසය මත තැබුවාය. 
තරුණයා පසුදාම යළි කුඩයක් මිලට ගෙන ත්‍රිරෝද රථයකින් පෙම්වතියගේ නිවෙස ආසන්නයට ගොස් පරිත්‍යාග කර ඇතැයි වාර්තා වෙයි.



අදහස් (0)

පෙම්වතියට ගෙනා කුඩය අම්මා ඉහලාගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 931 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site