කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මෙරට පදිංචි සුද්දාගේ පොත්තේ සුදු පාට බලා දෙවරකට දෙගුණයක් විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වීමේ ගාස්තු ලබාගත් අපූරු පෞද්ගලික රෝහලක් පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
සුද්දා ජර්මනියේ උපන් එකෙකි. දැන් මෙරටේය. පදිංචිය ඉදුරුවේය. සිංහල වතුර වගේය. මෙරට රිය පැදවීමේ බලපත්‍රයක් ද ඇත්තේය. දශකයකට එහා ගිය කාලයක සිටන්ම සුද්දා සිටින්නේ ඉදුරුවේය. සිය විශ්‍රාම වැටුපෙන් සැදෑ සමය ගත කරයි. තමාගේ අවසන් හුස්ම පොදත් යායුත්තේ මෙරටේ බව ඔහු සිතන්නේය.
තමාට ඇතිවූ රෝගී තත්ත්වයකට විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වීම සඳහා ඔහු තෝරා ගන්නේ අම්බලන්ගොඩ පෞද්ගලික රෝහලකට එන විශේෂඥ වෛද්‍යවරයෙකි. ඒ ස්නායු රෝග පිළිබඳවය. සුද්දා විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වීම සඳහා අදාළ මුදල ගෙවා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත්තේය.
ඔහුට වෙන් කළ දිනය සහ වෙලාව උදාවිය. ඒ අනුව සුද්දා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ළගය. තමාගේ රෝග ලක්ෂණ විශේෂඥ වෛද්‍යවරයාට කීවේ ඉංග්‍රීසියෙනි. ඒ විශේෂඥ වෛද්‍යවරයාට පහසුවෙතැයි සිතාය. විශේෂඥ වෛද්‍යවරයා සුද්දා පරීක්ෂා කර බලා ඔසු සලකින් ගැනීමට බෙහෙත් ලියා දුන්නේය. ඒ සමගම සුද්දා මේ රටේ මිතුරා සමග එන්නට විශේෂඥ වෛද්‍යවරයාගේ කාමරයෙන් එළියට ඒමට නැගිට්ටේය. ඒ සමගම ක්‍රියාත්මකවූ විශේෂඥ වෛද්‍යවරයා සුද්දා සමග ආ මෙරටේ මිතුරාට කීවේ මෙයා සුද්දකු නිසා සිය වෛද්‍ය ගාස්තුව දෙගුණයක් විය යුතු බවය. ඒ නිසා තමාට පෙන්වීමට මුලින් ගෙවූ ගානම තව වරක් ගෙවන ලෙස විශේෂඥ වෛද්‍යවරයා ඔහුට කීවේය.
මෙය ඇසූ සැණින් සුද්දාට ලංකාවම පිළිබඳව කල කිරීමක් ආවේය. සුද්දගේ කටින් සිංහල පැන්නේ ඒ එක්කමය. මේ රටේ මිනිස්සුන්ටත් හැදෙන ලෙඩක් තමයි මටත් හැදිලා තියෙන්නේ මගේ හමේ සුදු පාටට කොහෝමද එය ඩබල් වෙන්නේ යයි සුද්දා ඇසුවේය. ඒත් විශේෂඥ වෛද්‍යවරයා සිය ස්ථාවරය වෙනස් නොකළේය. මුදල් ගෙවන ලෙසම ඔහු කීවේය. මුදල් නොගෙවා ආපසු ඒමට සුද්දාට ඕන තරම් ඉඩකඩ තිබුණත් සුද්දා තමා සුදු නිසා විශේෂඥ වෛද්‍යවරයා නියම කළ මුදල දෙවැනි පාරටත් ගෙව්වේය.
කමක් නැහැ මේ වගේ හිඟන විශේෂඥ වෛද්‍යවරුන් දැක්කේ ලංකාවේදී තමයි යයි කියූ ඔහු විශේෂඥ වෛද්‍යවරයා ලියා දුන් බෙහෙත් මිලදී ගැනීමට ඔහුගේ ඔසුසලට නොගොස් මෙරට මිතුරා ඒ සඳහා යැව්වේ තමාගේ පොත්තේ පාට නිසා ඔසුසලේ ගාස්තුවත් දෙගුණයක් වේයයි සිතාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුට්ටු දෙකෛ් දොස්තරලා.. ඉතින් ලංකාවට සුද්දෝ එයිද?
ඇත්තටම හිඟන වෛද්‍යවරුන් ඉන්නෙ ලංකාවේ විතරමයි (ඉතාම අතලොස්සක් හැරුණු කොට) . යනකොට හම්භ කරපු මුදල් පොදි බැඳගෙන යයි. හැබැයි, මෙලොව සැප එලොවදී දුකක්ම වනු ඇත....
මම දන්නා අදුන්නන ලංකාවේ ඉන්න හිඟන චැනල් දොස්තරලා , සල්ලි කදු ගණන හෙවුවට ඒගොල්ල ඉන්නේ සහ ජීවිතය අවසාන කාලේ ගෙවන්නේ සතුටින් නොවන බව මට නිරීක්ෂණය වුණා , මේ විදිහට අසරණ රෝගීන් ගෙන් ගසා කන එක ලෝකයේ තිබෙන මොන ආගමකට අනුව වුණත් විශාල පාපයක් බවත් , මේවා මේ ලෝකෙදීම පදිසන්දෙන බවත් සදහන් කරන්න ඕනේ...
මේ ගොල්ලන්ට මෙහෙම බලයක් ලැබිලා තිබෙන්නේ ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවලින් පිට වන්නේ දොස්තරලා සීමිත ප්‍රමාණයක් නිසාත් ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල නැති නිසාත්ය. අනිවාර්යයෙන් ප්‍රමිතියක් ඇති පුද්ගලික විශ්ව විද්‍යාල, රජයේ අධීක්ෂණයක් ඇතිව ස්ථාපිත කිරීම වහා කළයුතුයි.. පුද්ගලික රෝහල්, පුද්ගලික් චැනල් කඩ රට පුර තිබෙනවා නම්, පුද්ගලික රෝහල් අකැප මොකද? දොස්තර සංගමයට පෙරටු ගාමියන්ට සහ ජවිපෙට ඕනෑ නිසා අපි දුක් විදින්න ඕනෑද?
මගේ මහත්තයාත් විදේශිකයෙක්. ඔහුට අසනීප වී කළුතර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගිය විටදීද මෙවැනිම දෙයක් සිදුවිය. මෙවැනි සූරාකෑමේ ක්‍රියාවන් නිසා ලංකාව ගැන ඉතාම නරක ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයේ ඇති වීමෙන් සංචාරක ව්‍යාපායට මෙන්ම ලාංකිකයින් වශයෙන් අපටද ලැජ්ජාවට පත්වීමට සිදු වේ. රජය මේවාට දඬුවම් දිය යුතුයි.