සහනාධාර මල්ලක තිබූ පිටි පැකට් එකක් දියකර බීමෙන් බඩේ අජීර්ණයකට මුහුණ දුන් මිත්තණියක සහ මුනුබුරකු පිළිබඳ කතාවක් කැබිති ගොල්ලෑවට එපිට ගමකින් දැනගන්නට ලැබුණි. 
එම ගම පසුගියදා ඇදහැලු‍ණු ධාරානිපාත වර්ෂාවට හසුවීමෙන් තරමක් හානි සිදුවූ ගමකි. 
මේ ගමේ විසූ මිත්තණියක් සහ වයස අවුරුදු 14ක පමණ  මුනුබුරෙක් නිවසක වාසය කළෝය. ඔවුන්ගේ නිවස ජලයෙන් සහ සුළඟින් හානියට පත් වී තිබුණි. මේ හේතුව නිසා වරින් වර ලැබුණු සහනාධාර බඩු මළු ඔවුන් දෙදෙනාට ද ලැබී තිබුණි. 
මෙම මිත්තණිය සහ මුනුබුරා එතරම් දැනුම් තේරුම් තිබුණු දෙදෙනෙක් නොවේ. 


එදින රැගෙන ආ සහනාධාර බඩු මල්ල ලිහා බැලූ මුනුබුරා මිත්තණියට පැවසුවේ”‍අත්තම්මේ මේ මල්ලේ කිරිපිටි පැකට් දෙකක් තියෙනවා. අපි දෙන්නා එකක් හදාගෙන බොමුද”‍ යනුවෙනි. එයට මිත්තණියගේ අනුමැතිය ලැබුණි. 
මුනුබුරා කිරි පිටි පැකට් එකක් භාජන දෙකකට කඩා දමා යහමින් සීනි දමා ඉන් කිරි කෝප්ප දෙකක් පිළියෙල කරගෙන මිත්තණිය ළඟට පැමිණ දෙදෙනාම සතුටු සාමීචියේ යෙදෙමින් කිරි කෝප්ප දෙකම ගිල දැමුවෝය. 
ගත වූයේ විනාඩි 30ක් වැනි කෙටි කාලයකි. මිත්තණියගේ සහ මුනුබුරාගේ බඩ ගෙඩි දෙක ඇතුලේ හේවිසි, හොරණෑ සහ බෙර හඬ ගිගුම් දෙමින් බඩ ඇතුළේ බඩවැල් පෙරළි කරන්නට වූ නිසා දෙදෙනා මහත් අපහසුවෙන් මුහුණෙන් මුහුණ බලා ගත්හ.
එකෙකු වැසිකිළියට ගොස් එන සුනංගුවෙන් අනෙකා ද වැසි කිළියට රිංගා ගත්තේ මාරුවෙන් මාරුවටය. 
මේ අලකලංචිය දුටු අසල් වැසි නිවසක කාන්තාවක් කරුණු කාරණා විමසන්නට වූවාය. 
කිරි පැකට් එකේ කතාව මිත්තණියගෙන් සහ මුනුබුරාගෙන් එළියට ආ බැවින් කාන්තාව ඔවුන් දියකර පානය කරන ලද කිරි පැකට් එකේ හිස් කවරය පරීක්ෂා කර බැලු‍වාය. 
”‍ඔයාලා දෙන්නා බීලා තියෙන්නේ ”‍පිටි කළ පොල් කිරි ”‍පැකට් එකක්නේ.”‍ ඉක්මන් කරලා බඩේ අජීර්ණයට බෙහෙතක් ගන්න”‍යැයි එම කාන්තාව උපදෙස් දුන්නාය. 
මේ සිද්ධියෙන් පස්සේ ‘‘අත්තම්මේ සහනාධාර මල්ලේ කිරිපිටි එහෙම තිබුණේ නැද්ද”‍ යනුවෙන් ගමේ ගොඩේ අය අසන විට අත්තම්මා හෙමින් සීරුවේ ගෙට රිංඟා ගන්නේ කනේ ඇඟිලි ගසා ගන්නට හොඳ පද දෙකක් කියමින් බව දැන ගන්නට ලැබුණි.

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය