මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම



සරසවි වරම් ලැබූ දියණියකට කියා වෙනත් කතකට මුදල් පරිත්‍යාගයෙන් උපකාර කළ පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබෙයි.
යාපහුවේ අවට පදිංචි නඩයක් පවුලේ අය කැටුව පිටස්තර පෙදෙසක වන්දනාවේ ගියහ. එහිදී වන්දනාවේ පැමිණ සිටි වෙනත් පිරිසක් ඔවුනට මුණ ගැසුනහ.
‘‘ඔයාල කොහේද දැකල පුරුදුයි”‍ එහි සිටි එකකු ඇසුවේය.
‘‘අපි යාපහුව අඩවියේ”‍ ‘‘ඉතිං අපිත් එහේනේ”‍
දෙගොල්ලෝ හෑල්ල දිග හැරියහ. ‘‘මේ දුව අහවලාගේ දුව නේදැයි”‍ එතැනදී එකකු සැකය දුරලන්නට විමසුවේය.
‘‘ඔව්.... ඔව්...   එයාලගේ දුව තමයි”‍ ඒ දුව මෙන්ම පැමිණි අයද එය සනාථ කළේය. ‘‘දැන් දුව කොහේද ඉන්නේ.’’ 
‘‘මං දැන් ඉන්නේ කොළඹ. නිවාඩුවට ගමේ ආව ගමන් ට්‍රිප් එකට මාත් ආවා. අප්පච්චිලා ආවේ නෑ”‍ ඇය කීවාය.


‘‘අනේ, මෙයාලගේ අප්පච්චි අපේ ගෙදරම නේ ඒ කාලේ හිටියේ. ඉතිං ගෙදරින් ගියත් හරි කිසිම නිච්චියක් දැන ගන්නට ලැබුණේ නෑ. දුව කැම්පස් ගියා කියලා ඒ වෙලාවේ අප්පච්චි දුවට ලැප්ටොප් එකක් අරන් දෙන්න හතර වටේ දුක් වින්දා. අනේ වාසනාවන් හිටපු තැනින් ගොඩ ගියාට දෙවියන්ගේම පිහිටයි. අපි ගෙදර එන්න හිටියට එන්න වෙලාවක් නෑ, ඒ හින්දා මේ මුදල මගේ දුව තියා ගන්න”‍ අම්මා රහසෙන් මුදලක් ඇය අත තැබුවාය.
ඇයගේ පියා මේ ගෙවල්වල එවකට බැල මෙහෙවර කම් කළ අයෙකි. එවන් පියකුගේ දුවෙකු කැම්පස් ගිය බව දැනගත් ඔවුන් දුවට ඒ පවුලේ සැවොම වැළ නොකැඩී මුදල් පරිත්‍යාග කරමින් ගෙනා කෑම බිමත් පිරිනැමුහ.
අතීත මතකයන් කිසිවක් මතක නැති ඇය දුන් මුදල් ගෙන ඔවුනට වැඳ ඉවතට ගියාය. වන්දනා ගමන නිමා වූ පවුලේ අය නිවසේ රැඳී සිටියදී එකී දියණියගේ පියාට ඇමතුමක් ගත්හ.
‘‘හෙලෝ, මේ අර ගෙදරින් කතා කරන්නේ.”‍
‘‘හා කියන්නේ මැඩම්.”‍
‘‘ඔයා ගැන ආඩම්බරයි...... දුව හම්බ වුණා. අපි දුවට හොදට උදව් කළා. මම, මහත්තයා, පුතාලා, දුවලා අපේ අර ගමේ මගේ නෑයෝ ඔක්කෝමත් දුවට මුදලින් උපකාර කෙරුවා. දුව ඒ ගැන ගෙදර ඇවිත් කිව්වාද.....”‍ ? 
‘‘අනේ මැඩම් මගේ දුව වන්දනාවේ ගියේ නෑනේ.”‍
‘‘එහෙනම් ඒ ආවේ කවුද, එයා ඔයාගේ දුව කැම්පස් එකේ කොළඹ ඉන්නවා කියලානේ කිව්වේ.”‍
‘‘නෑ..... නෑ... ඒ මගේ දුව නෙමෙයි, මගේම නම තිබෙන අපේ ගෙවල් ගාව ඉන්න එයාගේ දුව කැම්පස් එකේ නෙමෙයි ඉන්නේ, එයා කොළඹ කොම්පර්ට් කියා වැඩපලක ඉන්නවා කියලා තමයි කියන්නේ.”‍
එහිදී කැම්පස් කියා කොම්පර්ට් පැටලු‍ණු පවුලේ උදවිය නම් පටලවාගෙන ඇයට රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් පිරිනමා ඇති බව වටහා ගත් පියා, දැන් ඒ මුදල් ගන්නවා කියන්නේ... ‘‘ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා”‍ වාගේ වැඩක් තමයි යනුවෙන් හූල්ලා වැටුණාලු‍.